ගර්භාෂය ඉවත් කලොත් ශරීරයේ ශක්තිය අඩු වෙනවද ?




කාන්තාවකගේ ගර්භාෂය පිහිටා තිබෙන්නේ දරුවන් සෑදීම සඳහායි. දරුවකු පිළිසිඳගෙන, වැඩිලා, බිහි වෙන්නේ මේ ගර්භාෂය තුළිනි. ගර්භාෂයට සම්බන්ධව ඩිම්බකෝෂ සහ පැලෝපීය නාල පිහිටා තිබෙනවා. මේ ඩිම්බ කෝෂ මගින් ඊස්‌ට්‍රජන් හෝමෝනය නිපදවෙනවා.

ඊස්‌ට්‍රජන් හෝමෝනය කාන්තාවන්ට වැඩි ලැදිකමක්‌ දක්‌වන හෝමෝනයක්‌. කාන්තාවකගේ ලස්‌සන, සමේ සියුම් බව, පියයුරුවල මනා පිරුණු බව, ශරීරයේ හැඩය මේ හැමදේටම ඊස්‌ට්‍රජන් හෝමෝනය බලපානවා. මේ හැරුණු විට ලිංගික ක්‍රියාවලියේදී යෝනි මාර්ගයේ තෙත් බව රඳවා ගන්නට උදව් වෙන්නෙත් ඊස්‌ට්‍රජන් හෝමෝනයයි. දැරියක්‌ මල්වර වීම ලෙස අප හඳුන්වන සමයේදී මේ හෝමෝනය නිපදවීම ඇරඹෙනවා. ඒ වගේම කාන්තාවකගේ ආර්ථවහරණයත් සමග ඊස්‌ට්‍රජන් නිපදවීම නතර වෙනවා. එවිට මේ හෝමෝනය බාහිරව ලබා ගන්නට පුළුවන්.

දරුවන් හැදීම වෙනුවෙන් වෙන් වූ ගර්භාෂය තුළ විවිධාකාරයේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ෆයිබ්‍රොයිඩ්, ඇඩිනෝමයෝ සිස්‌ වැනි රෝග තත්ත්ව ඒ අතර වෙනවා. ෆයිබ්‍රොයිඩ් කියන්නේ ගර්භාෂයේ මාංශය මත හැදෙන ගෙඩි වර්ගයක්‌. මේවා බොහොමයකට ප්‍රතිකාර අවශ්‍ය නොවන නමුත්, ඇතැම් අවස්‌ථාවල ඒවා වර්ධනය වීම නිසා ගර්භාෂය ඉවත් කිරීමට පවා සිදු වෙනවා.

ඇඩිනෝමයෝසිස්‌ රෝගය ගර්භාෂ බිත්තියේ ඇති විය හැකි රෝග තත්ත්වයක්‌. මෙහිදී මාස්‌ පතා කාන්තාවකට ඔසප් වීමේදී ගර්භාෂ බිත්තියට අමතරව පිහිටා ඇති තුනී සිවි ද බිඳී ගොස්‌ රුධිර වහනයක්‌ සිදු වෙනවා. මේ හේතුවෙන් කාන්තාවකට අධික ලෙස රුධිරය පිටවීමක්‌ දකින්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී ද ගර්භාෂය ඉවත් කිරීම සිදු වෙනවා.

ඇතැම් විට ගර්භාෂයේ පිළිකා තත්ත්ව ඇති වෙනවා. එවිට ද ගර්භාෂය ඉවත් කිරීමට සිදු වෙනවා.

විවිධ ආසාදන ඇතිවීම තවත් අවස්‌ථාවක්‌. ගර්භාෂය තුළට විෂබීජ ඇතුළු වීම නිසා මේ ආසාදන තත්ත්වයන් හටගන්නවා. බොහෝ විට මේවා පැලෝපීය නාල, ඩිම්බ කෝෂ දක්‌වා ද පැතිරී යාම සිදු වෙන්නට පුළුවන්. ආරක්‌ෂිත නොවන ගබ්සා, ලිංගික සම්බන්ධකම්, දරු ප්‍රසූතිය ආදී අවස්‌ථාවලදී මේ විෂබීජ ඇතුළු වීම සිදු වෙන්නට පුළුවන්. මෙවැනි ආසාදන තිබෙන විට එම කාන්තාවට ඔසප් වීම ආසන්නයේදී අධික වේදනාවක්‌ ඇති වෙනවා. ආසාදන තත්ත්වයන්වලදී බොහෝ විට ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහිතව ගර්භාෂය ඉවත් කිරීම සිදු වෙනවා.

රෝගී තත්ත්වය අනුව ඉවත් කරන්නේ ගර්භාෂය පමණක්‌ ද, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල ඉවත් කරනවාද යන කාරණය තීරණය කෙරෙනවා. ගර්භාෂය ඉවත් කිරීම පවුලේ ප්‍රශ්නයක්‌ දක්‌වා දුර ගිය අවස්‌ථා ගැන අපට අසන්නට ලැබෙනවා. බොහෝ විට කාන්තාවෝ මෙය ගැටලුවක්‌ බවට පත්කර ගන්නවා. නමුත් එය ගැටලුවක්‌ කර ගත යුතු නැහැ. යම් රෝගී තත්ත්වයක්‌ සුව කිරීමේ අරමුණින් මෙය සිදු කරන බව වෛද්‍යවරයා තේරුම් කර දෙනවා.

ඇතැම් අය හිතනවා ගර්භාෂය ඉවත් කිරීම ලිංගික එක්‌වීමට බාධාවක්‌ කියලා. නමුත් ලිංගික එක්‌වීම් සඳහා අවශ්‍ය වන්නේ යෝනි මාර්ගය නිසා ඉන් බාධාවක්‌ ඇති වන්නේ නැහැ.

බොහෝ විට තරුණ කාන්තාවකගේ නම් ගර්භාෂය ඉවත් කිරීම සිදු කරන්නේ නෑ. අවුරුදු 35 පමණ පසු වූ තමන්ගේ පවුල සම්පූර්ණ කරගත් කාන්තාවන්ගේ පමණක්‌ ගර්භාෂය ඉවත් කිරීම සිදු කරනවා. සෑම කාන්තාවකගේම හැකි තරම් දුරට ඖෂධ හා එන්නත් මගින් රෝග තත්ත්ව පාලනය කිරීමට උත්සාහ දරනවා. ගර්භාෂය ඉවත් කිරීම අවසාන පියවරයි.

ගර්භාෂය සමග ඩිබ්ම කෝෂ ඉවත් කළොත් ඊස්‌ට්‍රජන් නිපදවීම සිදු වන්නේ නෑ. එවිට හම රැළි වැටීම, අධික දහදිය, ලිංගික කටයුතු අපහසු කරමින් යෝනි මාර්ගය වියළීම හා තද බව ඇති වෙනවා. එවිට ඊස්‌ට්‍රජන් හෝමෝනය ලබා ගැනීම කළ හැකියි. හෝමෝනය වෙනුවට ලිංගික ක්‍රියාවලියේදී භාවිත කළ හැකි ක්‍රීම් වර්ග හා සමේ ආලේප කරන ක්‍රීම් වර්ග අලෙවියට තිබෙනවා.

ඊස්‌ට්‍රජන් අහිමි වීමෙන් කාන්තාවෝ මහත් වෙනවා. ඒ නිසා තමන්ට පුරුදු ජීවිතය ටිකක්‌ වෙනස්‌ කරගන්න ඕන. ආහාර පාලනය කරන්න, ව්‍යායාම කරන්න, පැණි රස, පිටි කෑම ගැනීමෙන් වළකින්න හිතට ගන්න ඕන. එළවළු, පලතුරු, පලා වර්ග කෑමට ගන්න. ඒ වගේම කොලෙස්‌ටරෝල්, සීනි මට්‌ටම ආදිය පරීක්‍ෂා කරන්නත් ඕන.

ඊස්‌ට්‍රජන් අහිමි වූ විට අස්‌ථි දිරා යැමේ අවදානමත් ලක්‌ වෙනවා. ඒ නිසා ඒ සඳහා ප්‍රතිකාර ලබන්නට ඕන.

ගර්භාෂය ඉවත් කිරීම මානසික ගැටලුවක්‌ බවට පත් කරගත යුතු නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්‌ ලෙස වටහා ගෙන ජීවත්වීම සුදුසු දෙයයි. ඇතැම් විට ඩිම්බකෝෂ ඉවත් කිරීම නිසා ඊස්‌ට්‍රජන් හෝමෝනය අහිමි වීමෙන් ශරීරයේ ශක්‌තිය මදක්‌ අඩුවෙන්න පුළුවන්. එය මගහරවා ගන්නට ඊස්‌ට්‍රජන් ලබාගැනීම තුළින් පුළුවන්.

ඩිම්බ කෝෂ හොඳ තත්ත්වයේ තිබෙන විට ඒවා ඉවත් කරන්නේ නැහැ. නමුත් ඒවායේ නිසි ලෙස රුධිර සංසරණය නොවීම නිසා ගැටලු ඇති වන්න පුළුවන්. ඒ නිසා එවැනි අයට මාස 6 ට වරක්‌ රුධිරයේ FSH හෝමෝන අගය පරීක්‍ෂා කරගන්න කියලා අපි උපදෙස්‌ දෙනවා. එම මට්‌ටම 40 ට වැඩි නම් ඖෂධ ලබා ගැනීමට සිදු වෙනවා. ඊට අඩු නම් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය හොඳ මට්‌ටමේ තිබෙන බව කියන්නට පුළුවන්.

ඊස්‌ට්‍රජන් අඩුවීම නිසා ශරීරයට පණ නැති කම, කම්මැලි ගතිය ඇති වෙන්න පුළුවන්. ඇතැම් අයට මානසික අවපීඩන තත්ත්ව ඇති වෙනවා. එවැනි අවස්‌ථාවල ප්‍රතිකාර ලබා දිය යුතුයි.

ඇතැම් අය බිය වෙනවා. ගර්භාෂය පමණක්‌ ඉවත් කර ඩිම්බ කෝෂ ඉතිරි කිරිම නිසා පිළිකා ඇති වේවි කියලා, ඩිම්බ කෝෂවල පිළිකා ඇතිවීමට ගර්භාෂය ඉවත් කිරීම කිසිසේත්ම හේතු නොවන බව හොඳින් මතක තියා ගන්න ඕන.

අවශ්‍ය වන්නේ මෙය අනවශ්‍ය ප්‍රශ්නයක්‌ කර නොගෙන අවශ්‍ය නම් ඖෂධ ලබාගෙන සාමාන්‍ය ජීවිතයක්‌ ගත කිරීමයි. ඒ ජීවිතයට ගර්භාෂය ඉවත් කිරීම කිසිසේත්ම බාධාවක්‌ වන්නේ නෑ,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment