දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි ?


දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ඇතැමෙකුගේ කකුල් දෙක හොදටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකක් නැහැ. ඇතැම් විට ඒ අත්දැකිම ඔබත් විදිලත් ඇති. විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැනු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවා.ඇත්තටම මෙය රෝගි තත්ත්වයක්ද.

එක දිගට පැය 6 ක් 8 ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමත් අතර සැක කටයුතු සම්බන්ධයක් තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත් Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වය බව.

අපගේ ශරීරය තුළ රුධිර සංසරණය සිද්ධ කිරීමට රුධිර නාල වර්ග 2 ක් ප්‍රධාන කොට උපකාරී වෙනවා. එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන “ධමනි” අනික් වර්ගය තමයි හෘදය වස්තුවට ආපසු රුධිරය රැගෙන එන “ශිරා” හෘදය වස්තුව තුළ ඇතිවෙන හෘද ස්පන්දනය හෙවත් ගැස්ම නිසා ධමනි තුළ වේගයෙන් රුධිරය ගමන් කරනවා. අපට “නාඩි” ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමනයයි. නමුත් ශිරාව තුළ ආපසු ගමනේදී මේ ආකාරයට වේගවත් රුධිර ගමනක් සිද්ධ වන්නේ නැහැ. අපි එක දිගට ඉඳගෙන ගමනක් යාම වැනි ඉරියව්වකදී අපගේ පාදවල ඇති මේ “ශිරා”වල රුධිර ගමනය තවදුරටත් අවහිර වීමක් සමඟ එක තැන රැඳීමක් සිදුවෙනවා. ප්‍රතිඵලය වන්නේ පාදවල, විශේෂයෙන් අපි බත්
කෙන්ඩ ලෙස හඳුන්වන (Calt) ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වූ රුධිරය කැටි ගැසීමකට ලක්විය හැකි වෙනවා. මෙලෙස ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම DVT ලෙස හඳුන්වනු ලබනවා.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ එම ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැවීම, මතුපිට පෙනුමට ඇති නහර ගැටගැසීම හෙවත් නහර පිරී නෙරා තිබීම ආදී ලක්ෂණයි. නමුත් ඉතා වැදගත් කරුණක් වන්නේ මේ රෝග තත්ත්වය ඇති රෝගීන් 50% පමණ පිරිසකට සමහරවිට මේ අකාරයේ කිසිම රෝග ලක්ෂණයක් නොදැනීමයි. මේ නිසා මේ රෝග තත්ත්වය තීරණය කිරීමට ඉහත රෝග ලක්ෂණවල ඇතිවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම තව අනිකුත් රෝග කිහිපයක් නිසාත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශයට විෂබීජයක් ඇතුල් වූ විට, ඇතිවන ආසාදන සහ මස්පිඬුවල ඇතිවන අනතුරු, ආබාධ වසා පද්ධතිය (කුද්දෙටි) අවහිරවීම් නිසා ඇතිවන ඉදිමීම ආදී රෝග ගැනත් සිතේ තබාගත යුතු වෙනවා.

ඉතිං, මේ ආකාරයට ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම භයානක වන්නේ කොහොමද කියලා සොයා බලමු. මම මුලින් සඳහන් කළ ආකාරයට ශිරාවෙන් කෙරෙන්නේ නැවත හෘදය වස්තුව වෙත රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ පාවිච්චි කරන ලද අපිරිසිදු රුධිරය නිසා එම රුධිරය හෘදය වස්තුව මඟින් පෙනහලු වෙත පිරිසිදු කිරීම සඳහා (ඔක්සිජන් ලබා ගැනීම සඳහා) ලබා දෙනවා.

ප්‍රශ්නය වන්නේ ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියහොත් ඇතිවන විනාශයයි. ඒ කියන්නේ හෘදය වෙත කැඩීයන රුධිර කැටිය හෘදය මඟින් පෙනහලු වෙත පොම්ප කරනු ලබනවා.

මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල තුළ කුඩා නහරයක් හෝ රුධිර කැටිය විශාල එකක් නම් ප්‍රධාන නහරයක් අවහිර කරනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ පෙනහල්ලේ ප්‍රධාන කොටසකට හෝ රුධිර කැටිය කුඩා එකක් නම් කුඩා කොටසකට රුධිර ගමනය අවහිර වී අක්‍රීය වීමයි.

මේ තත්ත්වය සමහරවිට මාරාන්තික එකක් වෙන්න පුලුවන්. පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් රෝගියා මිය යන්නට හෝ දැඩි සත්කාරයක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් උද්ගත වන්න පුුලුවන්.

එක දිගට ඉඳගෙන පැය ගණනක් ගමන් කිරීම විශේෂයෙන් ගුවන් ගමන්වලදී ඇතිවන අවදානමට අමතරව, ශරීරය තුළ ඇති වෙනත් රෝග පිඩාත්, රෝගියා ලබා ගන්නා සමහර ඖෂධත් මේ සඳහා බලපානවා. ඒවා අතර ඇඟපත තරබාරු වීම, ප්‍රධාන ශල්‍යකර්ම වලට භාජනය වීම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝර්මෝන පෙති ගැනීම, සමහර පිළිකා වර්ග විෂබීජ ආසාදන, වෙනත් නිධන්ගත රුධිර ආබාධ අවධානම් කරුණු ලෙස සඳහන් කළ හැකි වෙනවා.

එක දිගට වාහනයක් තුළ ගමනක් යාමේදී පැය 2 - 3 කට වරක් වත් ඇවිදීම, සිටගෙන සිටීම වැනි ඉරියව්වල වෙනසක් සිදු කිරීම හෝ ඉලාස්ටික් බැන්ඩේජ් පැළැඳීම වැනි උපක්‍රම වැදගත් වෙනවා. කෙසේ වෙතත් මෙවැනි වැලැක්වීම පිළිබඳ උපදෙස් මීට වඩා පුලුල්ව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු එකක් වනවා. රෝගයට ප්‍රතිකාර ලෙස රෝහල් ගත කර රුධිර කැටිය දියවීමට බෙහෙත් වර්ග එන්නත් කිරීමක් අවශ්‍ය වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment