ඉන්ෆ්ලුවන්සා රෝග ලක්‍ෂණ ලෙස වමනය සහ පාචනය





නව ඉන්ෆ්ලුවන්සා රෝග ලක්‍ෂණ ලෙස වමනය සහ පාචනය ඇතිවෙන්නට පුළුවන්

උණ ඇතිවන්නේ වයිරසයක්‌ හේතුකොටගෙනයි. වයිරස්‌ පවුලට අයත් ප්‍රභේද රාශියක්‌ තිබෙනවා. ඒ අනුව මෙම වයිරස්‌ ශරීරගත වීමෙන් රෝග තත්ත්වයන් ඇතිවන්නේ මිනිස්‌සුන්ට පමණක්‌ නොවෙයි සතුන්ටත් රෝග තත්ත්වයන් ඇතිවෙනවා.

එවන් රෝගී තත්ත්වයකි පසුගිය වසරවල චීනය, වියට්‌නාමය ආදී රටවල් ආශ්‍රිතව ව්‍යාප්ත වූ කුරුලු උණ රෝගී තත්ත්වය. පක්‌ෂීන්ට පමණක්‌ නොව මෙම තත්ත්වය සිව්පා සතුන්ටත් ඇතිවීමට පුළුවන්.

ඒ අනුව මේ දිනවල ව්‍යාප්ත වෙමින් ඇති උණ ඌරන්ගෙන් බෝවන බවට මුලින් සැක කළ නිසා එය සූකර උණ ලෙස හැඳින්වීමට පෙළඹුණත් පසුව කරන ලද වෛද්‍ය පරීක්‌ෂණ අනුව එය ඌරන්ගෙන් බෝවන වයිරස්‌ උණක්‌ නොව වයිරස්‌ පවුලට අයත් වෙනත් වයිරස්‌ විශේෂයක සංකලනයක්‌ හේතු කොටගෙන ඇතිවන රෝග තත්ත්වයක්‌ නිසා එය නව ඉන්ෆ්ලුවන්සාව ලෙස හැඳින්වීමට පටන් ගත්තා.

සාමාන්‍යයෙන් සතුන්ට වැළඳෙන ඉන්ෆ්ලුවන්සා තත්ත්වයන් මිනිස්‌සුන්ට වැළඳෙන්නේ නැහැ. එහෙත් ඉතාම කලාතුරකින් සතුන් හා නිතර ගැවසෙන පුද්ගලයන්ට එම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. එවන් තත්ත්වයකි අප ඉහත සඳහන් කළ කුරුලු උණ වසංගතය.

ඒ අනුව බොහෝ දෙනා මුලින් සූකර උණ ලෙස හැඳින් වූ තත්ත්වය වයිරස්‌ අතර සිදුවන ජානමය හුවමාරු තත්ත්වයන් මත ඇතිවන සංකලනයක්‌ දක්‌නට ලැබෙන බව දැන් සොයාගෙන තිබෙනවා.

මෙය Noval Influneza AI, NI යනුවෙන් හැඳින් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්ත්වය දැන් හදුන්වන්නේ pandernic (H1N1) 2009 ලෙසයි.

එයට හේතු සාධකය වී ඇත්තේ වයිරස්‌ විශාල සංඛ්‍යාවක්‌ ඇති නිසා ඒවායේ විවිධ ක්‍රියාකාරීත්වයන් මත 2009 දී ඇති වූ විශේෂ තත්ත්වයක්‌ ලෙස මෙය හැඳින්වීමටයි.

ව්‍යාප්තිය

පැන්ඩෙමික්‌ තත්ත්වය ලෝකයේ රටවල් එකසිය තිස්‌පහකට අධික ප්‍රමාණයක දැනට ව්‍යාප්ත වී ඇති අතර මෙම තත්ත්වය මීට මදක්‌ වැඩිවිය හැකිය. ඒ කෙසේ වුවත් රටවල් බොහෝමයක වාර්තා වී ඇති රෝග තත්ත්වයට මිනිසුන් අනූ හතර දහස්‌ පන්සිය දොළහක්‌ ගොදුරුව ඇති අතර ඉන් හාරසිය විසි නව දෙනෙකු මියගොස්‌ තිබෙනවා. මේ වාර්තා අපට ලැබෙන වාර්තා අනුවයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම තත්ත්වය සලකා බැලීමේදී නව ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 2009/07/14 දින වන විට තිස්‌හතක්‌ වාර්තා වී ඇත. මියයාම් වාර්තා නොවේ. මෙහිදී ඔබ අමතක නොකළ යුතු කරුණක්‌ තිබෙනවා. එනම් මේ රෝගීන් තිස්‌හත්දෙනාම පිටරටවලින් මෙරටට පැමිණි පිරිස්‌වීමයි.

ඉහත සටහන අනුව මෙම නව ඉන්ෆ්ලුවන්සා තත්ත්වය සූකර උණ ලෙස වරදවා වටහා නොගත යුතු අතර ඌරු මස්‌ ආහාරයට ගැනීමට අනියත බියක්‌ ද ඔබ ඇතිකරගත යුතු නැත.

ස්‌වභාවය

මෙම රෝග තත්ත්වයේ රෝග ලක්‌ෂණ පෙන්වීමට විෂබීජය ඇතුළු වී දින 1-7 දක්‌වා කාලයක්‌ ගත වන අතර ඇතැම් විට රෝග ලක්‌ෂණ නොපෙන්වා සියලු රෝග ලක්‌ෂණ පෙන්වන තත්ත්වයට පත්විය හැකියි. එමෙන්ම කලාතුරකින් අවස්‌ථාවක මෙම රෝග තත්ත්වයේ සංකුලතා වර්ධනය වී සංකීර්ණ තත්ත්වයක්‌ ඇතිවීමට පුළුවන්. ඇතැම්විට රෝගියා මිය යාමටත් පුළුවන්.

රෝග ලක්‌ෂණ
වයිරසය ඇතුළු වී රෝග තත්ත්වය ඇති වූ විට එහි ලක්‌ෂණ ලෙස උණ හිසරදය, ඇඟපතවේදනාව, උගුරේ ආසාදන තත්ත්වයන් කැස්‌ස, නාසයෙන් සොටු දියර ගැලීම වැනි ලක්‌ෂණ පහල වේ. එමෙන්ම වමනය හා පාචනයද ඇතිවීමට පුළුවන්.

රෝග ව්‍යාප්තිය
රෝගී අයකුගෙන් නිරෝගී පුද්ගලයකුට බෝවිය හැකියි. කිවිසුම් හැරීමේදී හා කැස්‌ස ඇතිවිට ඒමගින් පිටවන ස්‌වසන බිදිති තව කෙනෙකුගේ තැවරීමෙන් බෝවිය හැකිය. එමෙන්ම රෝගී පුද්ගලයකුගේ ශ්‍රාවයත් ස්‌පර්ශ වීමෙන් පසු අත් නොසෝදා තමන්ගේ මුහුණ නාසය මුඛය ස්‌පර්ෂ කිරීමෙන් ද රෝගය බෝවිය හැකිය.

ප්‍රතිකාර හා වැලැක්‌වීම
වයිරස රෝග තත්ත්වයක්‌ නිසා කෙනෙකුට ප්‍රතිකාර නොලබා විවේකය පමණක්‌ ලබා ගැනීමෙන් සුව විය හැකිය. නිසි පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමද මෙහිදී කළ යුතුය.

මේ සඳහා විශේෂ ප්‍රතිකාර විධිද ඇති අතර ප්‍රති වයිරස්‌ ප්‍රතිකාර වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමෙන් රෝගය සුවකර ගත හැකිය.

අප මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට මෙම රෝගය වැළඳී නැති අතර දැනට හමු වී ඇති රෝගීන් සියලු දෙනා සංචාරකයන් ලෙස මෙරටට පැමිණි අයයි.

ඒ නිසා ගුවන් තොටුපළේ හා වරායන්වල රෝගීන් හඳුනාගැනිමට ක්‍රම උපායන් භාවිත කරනවා. එමෙන්ම ගුවන් තොටුපළේ පිටරටවලින් එන උණ රෝගීන් හදුනා ගැනීමට විශේෂ උෂ්ණත්ව මැණිමේ ස්‌කෑන් යන්ත්‍රයක්‌ සවිකර තිබෙනවා. එමෙන්ම එහි විශේෂ සෞඛ්‍ය කණ්‌ඩායමක්‌ ද රැඳි සිටිනවා. එමෙන්ම මෙරටට එන ගුවන් මගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීමට පත්‍රිකාවක්‌ ලබා දෙනවා. එමෙන්ම නව ඉන්ෆ්ලුවන්සා රෝගය ඇති අයකුගේ ඇසුරක්‌ දින 07 කට කලින් තිබුණේ නම් ඔහු / ඇය ක්‍රියාත්මක විය යුතු ආකාරය වෛද්‍යවරුන් හමුවිය හැකි ආකාරය දුරකතන අංක සහිතව පත්‍රිකාවක්‌ ද ලබාදෙනවා.

අංගොඩ උණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්‌ පවත්වා ගෙන යන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල්වලද ප්‍රතිකාර කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මීට අමතරව ඔබ පෞද්ගලිකවම තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

අනවශ්‍ය ලෙස ජනයා ගැවසෙන තැන්වලින් දුරස්‌ථව සිටීම,

අත් දෙක නිතර සබන් දා සේදීම (සබන්වලට මේ විෂබීජය නැසේ)


අනවශ්‍ය ලෙස මුඛය හා නාසය ස්‌පර්ශයෙන් වැලකීම, කිවිසුම් පිටවේනම් ලේන්සුවක්‌ භාවිත කිරීම, එයද සබන්දා සෝදාගත යුතුය. රෝගය වැළදී ඇත්නම්ද ඉහත ක්‍රමයන් අනුගමනය කරන්න. විශේෂයෙන් කුඩා දරුවන්, වයසක අය, ගර්භනී මව්වරු මෙන්ම නිදන්ගත රෝග තත්ත්වයන් ඇති අයද මෙම නව ඉන්ෆ්ලුවන්සා තත්ත්වයෙන් ආරක්‌ෂා වීමට කටයුතු යොදා ගත යුතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment