බණ්‌ඩක්‌කා- හදවත රකින එළවලු



අප නිතර ආහාරයට ගන්නා බණ්‌ඩක්‌කා සතු රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ සිදු කරන අප පර්යේෂණ කණ්‌ඩායම (ආචාර්ය ජයන්ත විජයබණ්‌ඩාර, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර හා වින්දිකා සුමුදුනී) අනාවරණය කරගත් තොරතුරු ඇසුරින් මේ ලිපිය සැකසේ.

හෘද රෝගවල අවදානම
රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ යැම හෘද රෝගවල අවදානම වැඩි කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෑතක දී නිකුත් කරන ලද දත්තවලට අනුව හෘදයට රුධිරය සැපයීම අඩාළ වීමෙන් ඇති වන හෘද රෝගවලින් තුනෙන් එකකට වගකිව යුතු සාධකය ලෙස රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ යැම පෙන්වා දිය හැකි ය. එම දත්තවලින් පෙන්වා දෙන පරිදි යුරෝපීය කලාපයට අයත් රටවල ජනගහනයෙන් 54%ක්‌ ද, ඇමෙරිකානුවන් අතරින් 48%ක ප්‍රමාණයක්‌ ද අධික රුධිර කොලෙස්‌ටරෝල් සාන්ද්‍රණයක්‌ සහිත අය වෙති. ශ්‍රී ලාංකිකයන් අයත් වන අග්නිදිග ආසියානුවන්ගේ හා අප්‍රිකානුවන්ගේ රුධිරගත කොලෙස්‌ටරෝල් සාපේක්‌ෂ ව අඩු වන අතර ප්‍රතිශතයක්‌ ලෙස එය පිළිවෙළින් 29%ක්‌ හා 23%ක්‌ වශයෙන් වාර්තා වෙයි. සංතෘප්ත මේද සහිත කෙටි කෑම වර්ගවලට දක්‌වන රුචිය, ව්‍යායාම මඳකම හා මානසික ආතතියක්‌ සහිත ජීවන රටාව වර්තමාන සමාජයේ රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ඉහළ යැමට බලපාන සාධක අතරින් වඩාත් ප්‍රබල ව කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ද මෑතක දී කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ යැම නිසා හෘද රෝග ඇති වීමේ ප්‍රවණතාව සාපේක්‌ෂ ව ඉහළ මට්‌ටමක පවතින බව සෞඛ්‍ය අංශ නිකුත් කරන වාර්තා (Annual Health Bulletin - 2017)වලින් දැක්‌වේ. රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය අඩු කිරීම මේ සඳහා වන ප්‍රතිකර්මය වේ. ජීවන රටාව වඩාත් හිතකර ලෙස වෙනස්‌ කිරීම හෝ ආහාර පාලනය ප්‍රතිඵලදායක නො වන විට ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදු වෙයි. මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන ඖෂධ කාණ්‌ඩය වන statins මිල අධික වන අතර ඒවායේ අතුරු ආබාධ බහුල ය. මේ නිසා මෙවැනි බෝ නො වන රෝග පාලනය සඳහා ශාකමය ද්‍රව්‍යවල වටිනාකම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කරයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment