දියවැඩියාව - කොලෙස්ටරෝල් - ප්‍රෙෂර් ආදී රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ගන්නා ඔබටයි



යවැඩියා රෝගීන් සඳහා ලබාදෙන, අතුරු ආබාධ අඩුම ඖෂධයක් ලෙස සැලකෙන මෙට්ෆෝර්මින් දීර්ඝකාලීනව ගැනීම නිසා ෆෝලික් අම්ල සහ බී 12 විටමින ඌනතාවය ඇතිවිය හැකිය.


ගන්නා බෙහෙත් පෝෂණයට බලපෑ හැකිද?
බෙහෙතක් හේතක් අපි ගන්නේ ලෙඩක් දුකක් නැති කරගන්නට. එහෙම නැත්නම් යම්තාක් දුරකට එම තත්ත්වය සමනය කරගන්නට. එහෙත් අපි කවුරුත් දන්නා දෙයක් තමයි සෑම බෙහෙතක්ම රසායනික ද්‍රව්‍යයක් හෝ මිශ්‍රණයක්ය කියන එක. ඒ නිසාම ඒවායෙන් ලැබෙන ගුණ වගේම අගුණත් තියෙනවා. බෙහෙතකින් ඇතිවිය හැකි අතුරු පල විපාක ලෙස හැඳින්වෙන්නේ මෙන්න මේ ලක්ෂණ.

එහෙත් අප සලකා බැලිය යුතු තවත් වැදගත් තත්ත්වයක් තියෙනවා. ඒ බෙහෙත් ගැනීම නිසා අප තුළ ඇතිවිය හැකි අදිසි පල විපාක. උදාහරණයක් හැටියට බොහෝ බෙහෙත් ද්‍රව්‍ය අපගේ පෝෂණය මට්ටමට බලපෑමට පුළුවන. විශේෂයෙන්ම ශරීරය තුළ ඇති විවිධ පෝෂක අඩු කර පෝෂණ ඌනතා මතු කරගන්නට වගේම ආහාරවලින් පෝෂක උරාගැනීමට බාධා කරන්නටත් බෙහෙත්වලට පුළුවන්.

දවස් දෙක තුනකට එහෙම නැතිනම් කෙටි කාලයකට බෙහෙත් ගැනීම නිසා මෙවැනි ගැටලු ඇති නොවුණත් දීර්ඝකාලීනව නැතිනම් ජීවිතය පවතින තාක් කල් බෙහෙත් ගන්නා අයට මෙම බලපෑම ඇතිවිය හැකියි. වයස අවුරුදු 40 -50 -60 අය හට අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව සහ ආතරයිටීස් වගේ අසනීප තත්ත්වයන් තිබීම ඔවුනට දිගු කාලීනව බෙහෙත් ගැනීමේ අවශ්‍යතාවයක් මතු කර තිබීම නිසා බෙහෙත් ඖෂධ සහ පෝෂණ ගැටලු පිළිබඳව විමසීම වැදගත්.

ආමාශ වායුව ආහාර මාර්ගය ඔස්සේ ඉහළට ඇදී විත් බඩ පපුව දැවිල්ල ඇති කිරිමට එරෙහිව ලබාදෙන “ප්‍රෝටොන් පම්ප්” නිෂේදක ලෙස හැඳින්වෙන ඖෂධ නිසා ආහාරයෙන් ලැබෙන බී 12 විටමිනය අවශෝෂණයට බාධා පැමිණේ. අවශ්‍ය ප්‍රමාණයට බී 12 නැතිනම් සයනකොබැලමීන් විටමින ඌනතාවය ඇති වුවහොත් නීරක්තිය (ලේ හිඟකම) පේශි දුර්වලතාව, අවුල් වියවුල් සහගත බව මෙන්ම වැටීම් ඇති වීමට ද හේතුවිය හැකියි.

තවත් සමහර ඖෂධ ශරීරය ස්වාභාවික ලෙස පෝෂක සංස්්ලේෂණය සඳහා උදව් වන එන්සයිම නිපදවීමට බාධා කරයි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සඳහා ලබාදෙන සැටින් වර්ගයේ ඖෂධ දැක්විය හැකිය. සෛල තුළට ශක්තිය සැපයීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අවශ්‍ය එක්තරා එන්සයිමයක් නිෂ්පාදනය අඩු කිරීමට එය සමත් වෙයි.

මේ අතර රුධිර පීඩනය අඩු කිරීම සඳහා ලබාදෙන සමහර ඖෂධ දීර්ඝකාලයක් ගැනීම, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛනිජ පෝෂක මට්ටම අඩු කළ හැකිය. පෙර සඳහන් කළ උගුර බඩ දැවිල්ල සමනය කිරීම සඳහා ලබාදෙන ඖෂධ නිසාද කැල්සියම්, මැග්නීසියම් සහ විටමින් බී 12 මට්ටම පහළ හෙළීය හැකිය.

අපස්මාරය හා වලිප්පුව සමනය සඳහා ප්‍රති අපස්මාර ඖෂධ සහ කොීටිකෝස්ටෙරොයිඩ ඖෂධ නිසාද ශරීරය තුළ කැල්සියම් සහ ඩී විටමින ඌනතා ඇතිවිය හැකිය. දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන, අතුරු ආබාධ අඩුම ඖෂධයක් ලෙස සැලකෙන මෙට්ෆෝර්මින් දීර්ඝකාලීනව ගැනීම නිසා ෆෝලික් අම්ල සහ බී 12 විටමින ඌනතාවය ඇතිවිය හැකිය. එපරිද්දෙන්ම වයසට යාමේදී බොහෝවිට ඇතිවන ස්නායු ආබාධයක් වන පාර්කින්සන් රෝගීන් සඳහා ලබාදෙන “ලෙවොබෝපා සහ කාර්බිඩෝපා වැනි ඖෂධ විටමින් බී6 සහ විටමින් බී 12 ඌනතාවයන්ට මඟ පාදයි.

තමන් විසින් රෝගීන්ට ලබාදෙන ඖෂධවල ඇති ඔක්කාරය හා වමනය ඇතුළු අතුරු ආබාධ ගැන මෙන්ම පෙර සඳහන් කළ පෝෂණ ඌනතා මතු වීම් ඇතුළු අදිසි අතුරු පල විපාක පිළිබඳව ද වෛද්‍යවරු දනිති. එහෙයින් තමන් තුළ එවැනි ගැටලුකාරී තත්ත්වයක් මතු වෙමින් පවතින බව රෝගියා නොදැන සිටියත්, එම තත්ත්වය වැළැක්වීම සඳහා ප්‍රධාන ඖෂධයන්ට අමතරව විටමින්, ඛනිජ ඇතුළු වෙනත් අතිරේක පෝෂක හා ඖෂධ ලබාදීමට වෛද්‍යවරු ක්‍රියා කරති. රෝගීන් විසින් කළ යුත්තේ අදාළ ඖෂධ නිසි පරිදි නියමිත කාලය තුළ ගැනීමත් වෛද්‍යවරයා විසින් තහංචි නොදැමූ ආහාර හැර වෙනත් පෝෂක අඩංගු ආහාර ඇතුලත් වූ මිශ්‍ර ආහාර වේලක් ගැනීමත්ය.

කිසියම් ඖෂධයක් ගැනීම නිසා මෙවැනි පෝෂණ ගැටලු සහ වෙනත් අහිතකර තත්ත්ව ඇතිවීමට ඉඩ තිබේද යන්න වෛද්‍යවරයාගෙන් විමසා සිටීමට පූර්ණ අයිතිය රෝගියා සතු බවත් අමතක නොකළ යුතුයි.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment