හොඳ පරිප්පු තෝරා ගන්නේ කෙසේද?





පරිප්පු මිලදී ගැනීමේදී රතු හෙවත් මයිසුර් පරිප්පු මිල දී ගැනීමට ජනතාව ප්‍රමුඛත්වය දෙන බවක් දක්නට ලැබෙයි. මෙම මයිසුර් පරිප්පුවලට සමානව යන වෙජ් කියන ධාන්‍ය වර්ගය අශ්වයන්ට ආහාරයට දෙනු ලබනවා. කාලයක් මෙයත් මිනිසුන්ට පරිප්පු ලෙස කූඨ වෙළඳුන් අලෙවි කර තිබුණා. නමුත් දැන් එවැනි කූඨ වැඩ සිදුවන අවස්ථා අවමයි. නැති තරම්.


දිනපතා අප ආහාරයට ගන්නා ධාන්‍යමය ව්‍යාංජයන් අතර පරිප්පු ප්‍රධාන වේ. වෙළෙඳපොළේ දක්නට ලැබෙන පරිප්පු වර්ග කිහිපයකි. ඒ අතර මයිසුර් හෙවත් රතු පරිප්පු, කහ පරිප්පු, කඩල පරිප්පු ප්‍රධාන වේ. මෙලෙස අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා පරිප්පු හොඳ තත්ත්වයේ පවතී ද? පරිප්පු වලට ඩයි දමා විකුණු අවස්ථා, පරිප්පු මැලතින් මිශ්‍ර කර කල්තබන අවස්ථා, පරිප්පු හා සමානවන සත්ත්වමය ආහාර පරිප්පු ලෙස විකිණු අවස්ථා කෙතෙකුත් ඇති. තත්ත්වය මෙසේ නම් සැබෑවටම තත්ත්වයෙන් උසස් පරිප්පු වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ කෙසේ ද? එලෙස මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

පරිප්පු මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
පරිප්පු මිලදී ගැනීමේදී කැබලිවලට කැඩුණු පරිප්පු කිසිවිටෙක මිලදී නොගත යුතුයි. එයට හේතුව පරිප්පු වලට ගුල්ලන් හා වෙනත් කෘමි සතුන් විද හානි කර ඇති බැවිනි. තවද පණු කැදලි හා කෘමි සතුන් සිටින බවක් දිස්වෙන පරිප්පු කිසිසේත්ම මිනිස් පරිභෝජනයට සුදුසු නොවේ.

මන්ද මෙවැනි පරිප්පුවල ඇති ගුණාත්මක බව හා පෝෂණය මෙම සතුන් උරාගෙන ඔවුන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය පරිප්පු තුළට නිකුත් කරනු ලබන නිසා, එය මිනිස් සිරුරට හිතකර නොවේ. එවැනි පරිප්පු කිසි විටෙක මිල දී නොගත යුතුයි.

හොඳ පරිප්පු තෝරා ගන්නේ කෙසේද?
තත්ත්වයෙන් උසස් පිරිසුදු පරිප්පු මිල දී ගැනීමේදී පරිප්පු ඇට පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මන්ද පරිප්පු ඇටයේ ගුල්ලන් විදින ලද හිල් තිබේ ද යන්න සොය බැලිය යුතුය. එලෙසම පරිප්පු බහුලව කැබලිවලට කැඩී තිබේද යන්න සොයා බැලීම වැදගත්. මන්ද විකිණිමේදී ගුල්ලන් ගැසු පරිප්පු කැබලිවලට කඩා හොඳ පරිප්පු සමඟ මිශ්‍ර කර තිබීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි බැවිනි.


නමුත් හොඳ පරිප්පු ආනයනය කර පිරිසුදු කිරීමේ දී ද පරිප්පු ඇට කැඩීමකට ලක්වේ. එලෙස කැඩුනු පරිප්පු පරිභෝජනයට ගැටලුවක් නොවේ.

නමුත්, බැලු බැල්මට කැඩී, පොඩි වී ගිය පරිප්පු මිල දී නොගත යුතුයි.

පරිප්පුවල ජල ප්‍රතිශතය අඩුකර ගැනීමෙන් හා කෘමින්ගෙන් ආවරණය කර තබා ගැනීමෙන් බොහෝ කාලයක් පරිප්පු තබා ගැනීමට හැකියාව පවතී. එයට අමුතුවෙන් රසායනික ද්‍රව්‍ය යෙදිය යුතු නොවේ.

නමුත් වෙළෙඳපොළේ ඒ තත්ත්වය එලෙසම පවතිනවාද යන්න සැක සහිතය. පරිප්පුවල සියකට දහයට වඩා අඩු ජල ප්‍රතිශතයක් තිබු විට පරිප්පුවල පුස් වර්ග ඇති නොවන අතර පුස් වර්ග සැකසී පැවතුණොත් එය පිළිකා කාරක විෂ නිපදවීමට ඇති හැකියාව වැඩිය.



පරිප්පු කල්තබා ගැනීමට මැලතියන් යොදනවාද?
මීට කලකට පෙර මැලිතියන් යොදා පරිප්පු විකුණු අවස්ථා වාර්තා වුණා. නමුත් මේ වන විට මැලතියන් දැමීම සම්පුර්ණයෙන්ම තහනම්. එලෙසම මැලතියන් ලංකාවට ගෙන්වීමද තහනම් කර තිබෙන්නේ. නමුත් පරිප්පුවලට ඩයිවර්ග හා විවිධ වර්ණක යොදා අලෙවි කරන අවස්ථා තිබෙනවා.

විශේෂයෙන් නොමේරූ හා පරණ පරිප්පු මෙලෙස ඩයි දමා විකිණීමට තබනවා. එසේ වු විට මේ පරිප්පු ජලයේ දියකළ විට වර්ණක තිබේ නම් සේදී යන්න පුළුවන්. එයත් සොයා ගන්න අපහසු නම්, පරිප්පුවලට විනාකිරි ස්වල්පයක් දමා රත්කර එයට කපු රෙදි කැබැල්ලක් දැමු විට ඩයි දමා තිබේ නම් ඒ වර්ණකය රෙදි කැබැල්ලට උරා ගන්නවා. සාමාන්‍යයෙන් රසායනාගාරවලදී බැටළු ලොම් මේ සඳහා භාවිතා කරනවා.

අපි හැමවිටම වෙළෙඳ පොළෙන් මිලදී ගත යුත්තේ පැහැදිලි වර්ණයක් හා දිස්නයක් සහිත ඇට වෙන්ව ඇති පියලි වශයෙන් ඇති, නොකැඩුණු පරිප්පුය. පරිප්පුවල ප්‍රෝටීන් අධික වන අතර මිනිසාගේ පෝෂණයට ගුණදායක ආහාරයකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment