බබාලා නැත්තේ සැමියා දුම්බොන නිසාද?



මවකගේ කුස පිළිසිඳ ගන්නා දරුවා කුස තුළදී වගේම මෙලොවට බිහිවන අවසාන මොහොත දක්වාම හැම කෙනාගේම ආදරය රැකවරණය හිිමි කරගනු ලැබේ. නමුත් අවාසනාවට මිනිසා තුළ පවතින අයහපත් හුරු පුරුදුකම් නිසා එම ආදරය රැකවරණය නොදැනුවත්වම ගිලිහී යන අවස්ථා ද නැත්තේම නැහැ. එවැනි හුරුපුරුකම් අතරත් විශේෂයෙන්ම සෞඛ්‍ය සඳහා බලපෑම් ඇති කරනු ලබන දුම්පානය වැනි ගැටලු නිසා වර්තමානය වනවිටත් විවිධාකාර ගැටලු සඳහා මුහුණ දෙන පිරිස් ඕනෑතරම්. එවන් අවදානම් තත්ත්ව කරා මිනිසාගේ ජීවිත ඇද දමන දුම්පානය වැනි පුරුදු නිසා සමාජය තුළ ජිවත් වන අනෙකුත් අයට වඩා ගර්භණී කාන්තාවකට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ප්‍රමාණය ඉතා ඉහළයි. ඇතැම්විට එම දුම්පානය ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවිය හැකි නමුත් ඉන් සිදුවන ප්‍රතිඵලය කුස තුළ පිහිටි දරුවාගේ මිය යාමට ද හේතුවන තරම් දරුණු වීමට ද ඉඩ තිබේ.

ඝෘජු හා වක්‍ර දුම්පානය

දුම්පානය කිරීම ඝෘජු හා වක්‍ර ලෙස ප්‍රධාන කොටස් දෙකකි. ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ විමසා බැලීමේදී මේ කුමන ආකාරයකට දුම්පානය සිදු වුවත් ඉන් ඇතිවන හානිදායක බව නම් ඉතාමත් පැහැදිලිය. බොහෝදුරට ලංකාව තුළ නම් කාන්තාවන් අතර දුම්පානය එතරම් දැකගත නොහැකි නමුත් ඝෘජු ලෙස දුම්පානය කිරීම ඇය ගර්භණියක් බවට පත් වූ විට කුස තුළ සිටින දරුවාට බරපතළ සෞඛ්‍ය තර්ජන ඇති කිරීමට සමත්වේ. මීට අමතරව ගර්භණී කාන්තාවක් වක්‍රාකාරව දුම්පානයට ගොදුරු වීමට බලපාන අනෙකුත් සාධකය වන්නේ සැමියා දුම්පානය කරන අයෙකු විමයි. මේ කුමන ආකාරයකට දුම ආඝ්‍රාණය වුවත් ඉන් සිදුවන්නේ කුස පිහිටි කලලයට තර්ජනයකි.




ස්වාමියාගේ සඵලතාවටත් බාධාවක්
ප්‍රජනන සෞඛ්‍යයේදි දුම්බිම පුරුෂයන්ටත් එකසේ බලපාන තත්ත්වයක්. එමඟින් ශූක්‍රාණුවල ගුණාත්මක භාවය වගේම එහි හැකියාව ද බාල කරවනු ලැබේ. එවැනි කරුණු මත දුම්පානය කරන පුරුෂයන්ට දරුවන් ලැබීමේ හැකියාව අඩු වන බව විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්.



ගර්භණී කාන්තාවකට සිගරට් දුම නිසා ඇතිවන ගැටලු
ඝෘජු හා වක්‍ර දුම්පානය මව සහ දරුවා යන දෙදෙනාටම හානිදායකයි. ස්වසන ආබාධ විශේෂයෙන් ඇදුම, හතිය, කැස්ස ආදිය ඇතිවිය හැකියි. මේ නිසා ස්වාමියා දුම්පානය කරනවා නම් හා බිරිඳ ගැබිනියක් නම් ඔවුන් සිටින තැනින් ඉවත් වී ගොස් දුම්පානය සිදු කළ යුතුයි.දුම්බීම නිසා ළදරු කලලයේ වර්ධනය බාල වීම, අඩු වයස් දරු ප්‍රසූතිය, අඩු බර දරු උපත් මෙන්ම ළදරු මරණ ද සිදුවිය හැකියි.



දුම්වැටියක අඩංගු රසායනික නිසා ඇතිවන හානිය
දුම්වැටියක රසායන ද්‍රව්‍ය 4000 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේ රසායනික ද්‍රව්‍ය අතුරින් සෑම රසායනිකයක්ම විස සහිත වන අතර ඉන් කිහිපයක් පිළිබඳව මූලිකව අවධානය යොමු කළ හැකියි. ඒ අතුරින් කාබන් මොනොක්සයිඩ් පිළිබඳ විමසා බැලීමේදීයි. කාබන්මොනොක්සයිඩ් නිසා මූලික වශයෙන් රුධිරයේ ඔක්සිජන් පරිවහනයට බාධා ඇති කරනු ලැබේ. යම් ගර්භණී කාන්තාවක් සිගරට් දුමට නිරාවරණය වීම මත මෙම කාබන්මොනොක්සයිඩ් ක්‍රියාකාරීත්වය නිසා තම කුස සිටින දරුවාගේ ඔක්සිජන් සැපයුමට බාධා ඇති කරනු ලැබේ. එසේ මව දුම ආග්‍රාණය කරන සෑම අවස්ථාවකදීම දරුවාට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා දරුවාගේ හදවත අධික ලෙස වෙහෙස කරවීමට සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවාගේ වර්ධනය බාල වීම වගේම වැදෑමහේ දුර්වලතා නිසා දරුවන් අඩු වයසින් බිහිවීම, දරුවා කුස තුළම මිය යාම, කුස තුළ නිසිපරිදි වර්ධනය සිදු නොවීම සිදු විය හැකියි.

යම් අයෙක් දුම් බොනවා නම් ඉන් ඉවත් වූ අවස්ථාවේදීම මවට වගේම දරුවාට ද ඉන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමකට පත්වේ. විශේෂයෙන් කාබන්මොනොක්සයිඩ් මඟින් ඇති කරනු ලබන බලපෑම පිළිබඳ විමසා බලන විට දුම්බීම නවතා පැය 24ක් වැනි කාලයක් තුළ දරුවාට එමඟින් සිදුවන යහපත් ප්‍රතිඵල ඉතා ඉහළ මට්ටමකට පත් වේ. ඒ නිසා ගර්භණී සමයේ යම් කාන්තාවක් දුම්පානය කරනවා නම් ඉන් ඉවත් වීමත් සැමියා දුම්පානය කරනවා නම් හැකි ඉක්මනින් ඉන් ඉවත් කරවීමටත් කටයුතු කළ යුතුයි.



ගර්භණීත්වය ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ හැකි පියවර
මව දුම්පානය කරනවා නම් එය වහාම නතර කර දැමීම, ඒ වගේම තම සැමියා දුම්පානය කරන අයෙක් නම් ඉන් ඉවත් වීම. එක් වරම එම පුරුදුවලින් ඉවත් විමට අපහසු නම් වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කර දුම්බීමෙන් ඉවත් වීමේ විධිමත් වැඩ පිළිවෙලකට අනුගත විය යුතුයි. ඒ වගේම දුම්පානය නිවසට ඇතිවන අනවශ්‍ය වියදමක් වගේම දුම්පානයෙන් වැළකී සිටීමට තමාට ආත්ම ශක්තියක් නොමැති නම් අවම වශයෙන් තමාගේ ගර්භණී බිරිඳ සමීපයේ දුම්පානයවත් නතර කිරීමට උත්සාහ කළ යුතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment