පාසල් අධ්‍යාපනය ශ්‍රවණාබාධිත දරුවකුට අභියෝගයක් ද ?





පාසල් අධ්‍යාපනයෙන් පමණක් ඕනෑම අයෙකුගේ ඉගෙනීම අවසන් වන්නේ නැහැ. ඒ වගේම මෙලොවට යමෙක් බිහි වූ දා පටන් ජීවිතයේ අවසාන හුස්ම හෙළන තාක් පවතින ජීවිත කාලය පුරාවටම ඉගෙන ගන්නට තිබෙන කරුණු කාරණා ප්‍රමාණය මෙතරම් යැයි පැවසීමට කා හටත් හැකියාවක් ද ඇත්තේ නැහැ. නමුත් ජීවිතයේ මුල්ම අවධියේදී ලබන අධ්‍යාපනය මත ඉතිරි ජීවිත කාලයම ගොඩනැගෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතු අතර එම මූලික අඩිතාලම ලැබෙන්නේ අපගේ ළමා අවධියෙන් බවද අනිවාර්යයෙන්ම දැනගත යුතුයි.

මෙම කාලසීමාව මිනිසෙකු වශයෙන් ඉතා වැදගත් කාල පරිච්ඡේදයක්. මන්දයත් තමාගේ අදහස් සිතුම් පැතුම් ආදී සියල්ලම දරුවෙකු සන්නිවේදනය කිරීමට ඉගෙන ගන්නේ මෙම කාල සීමාවේදී බැවින් එම අධ්‍යාපනය නිසි ලෙස මෙන්ම වඩා විධිමත් අයුරින් ලබාදීමත් අත්‍යවශ්‍ය කාරණයක්. මෙම වගකීමේ මුල්ම කොටස් කරුවන් බවට පත්වන්නේ මව සහ පියාවන අතර පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ද එම කාර්යයේදී යම් වගකීමක් දැරීමට සිදුවේ. කෙසේ වෙතත් මෙම කාර්යයේදී භාෂාව හැසිරවීම සමඟින් තම අදහස් නිසි පරිදි සන්නිවේදනය කරන්නේ කෙසේ දැයි ඉගෙන ගත්තද එහි විධිමත්භාවය වඩා වර්ධනය කරගත හැක්කේ පාසල් අධ්‍යාපනය හරහාය.

ඕනෑම දරුවෙකුට පාසැල් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වනවා වගේම ඉහත අවශ්‍යතාවට අමතරව තමාගේ දක්ෂතා කුසලතා හඳුනා ගැනීමටත් එකසේ වැදගත් වන බවද අනිවාර්යයෙන් සඳහන් කළ යුතුයි. නමුත් යම් ලෙසකින් දරුවා ආබාධිත තත්ත්වයෙකින් පෙළෙන අයෙක් වුණොත් එවැනි විටෙක පාසල් අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරනවා තබා නිවසේදී ඔවුන්ට අවශ්‍ය මුලික සන්නිවේදනය පිළිබඳ දැනුමවත් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ.

එවැනි ආබාධිත තත්ත්වයන් ගණනාවක් තිබුණ ද ඒ අතුරින් ශ්‍රවණාබාධ විශේෂත්වයක් හිමි කරගනු ලැබේ. අනෙකුත් දරුවන්ට මෙන් නොව විශේෂයෙන් කථනය පුරුදු පුහුණු වීමේදී මොවුන් මුහුණ දෙන අභියෝග ප්‍රමාණය ඉතාමත් ඉහළයි. ඒ වගේම අදාළ මව්පියන්ට ද එහි වගකීම ඉතාමත් වැඩි වන අතර නිවසේදී මෙන්ම එම දරුවා පාසැල් අධ්‍යාපනයට යොමු වූ විට ගුරුවරුන්ට ද එම කාර්යභාරය එකසේ අදාළ වනු ඇත.

කෙසේ වෙතත් එවැනි දරුවෙකුගේ භාෂාමය දැනුම, ස්වාධීනත්වය, තමාව හඳුන්වා දීම මෙන්ම දෛනික ජීවිතය හා සමාජීය හැකියාවන් යන ආදී සෑම කරුණකදීම ඔවුන් ලබන අධ්‍යාපනය කෙතරම් වැදගත් ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. එවැනි කරුණු කාරණා පිළිබඳ දැනුවත් වීම හරහා ඔබගේ දරුවා ඉදිරියේදී අධ්‍යාපන කටයුතු වලට මුහුණ දීමට තරම් ශක්තිමත් මනා පෞරුෂයකින් හෙබි අයෙක් බවට පත් කරගත හැකියි.

එම කාර්යභාරයයේදී භාෂාමය දැනුම මුලිකත්වයක් හිමිකර ගනු ලබන අතර නිසි භාෂාමය ඥානයක් දරුවාට ලබාදීමට නම් මුලිකව දෙමාපියන් විසින් ඉටු කළ යුතු කරුණු කාරණා රාශියක් තිබේ. ඒ අනුව යම් ශ්‍රවණාබාධිත දරුවකු පාසලට ඇතුළත් කිරීමට වසරකට පෙර දෙමාපියන් විසින් එහි උගන්වන විෂය ධාරා අත්පොත්වල පිටපත් තබාගැනීම ඉතා වැදගත්. එමඟින් තම දරුවාගේ භාෂාමය දැනුම් මට්ටම අනුව ඔහුට එම විෂය නිර්දේශය ඉගෙන ගත හැකිද? නැතිනම් තව භාෂාමය දැනුම් මට්ටමක් ලබාදිය යුතු ද දෙමාපියන්ට තීරණය කළ හැකිවේ.

මෙය වඩා විධිමත්ව මෙන්ම ක්‍රමානුකූලව සිදු කළ යුතු ක්‍රියාවලියකි. ඒ වගේම පාසැලේදී ඇතිවිය හැකි හදිසි අවශ්‍යතා සහ අවස්ථාවලදී භාවිතා කරන දෙබස් ආදිය දරුවා සමඟ සාකච්ඡා කිරීම, ඒවාට හුරුකරවීමද ශ්‍රවණාබාධිත දරුවෙකු පාසැලේ පරිසරයට වඩ වඩාත් සමීප කර විය හැකිය. ඒ වගේම තමාගේ ශ්‍රවණ ඌනතාව පිළිබඳ පවතින දැනුවත් භාවය ද ඉතා වැදගත් වන අතර තමාගේ ශ්‍රවණාධාර කට්ටලය තනිව කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද මනා දැනුමක් දරුවාට ලබා දී තිබීම ද ඉතා වැදගත්. එම අදාළ ශ්‍රවණ උපකරණ සම්බන්ද සියලු වැඩකටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් මාපියන් විසින් තම දරුවාට ලබාදීමට කටයුතු කිරීම හරහා වඩාත් සාර්ථක ලෙස පාසල තුළ ඇතිවිය හැකි ගැටලු වලට මුහුණදීමට දරුවාගේ හැකියාව දියුණු කිරීමට හැකිවේ. මෙම හැකියාව දරුවා සතු ස්වාධීනත්තයයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment