හොඳ, නැවුම් මුං ඇට තෝරා ගන්නේ කෙසේද?



එදිනෙදා අප ආහාරයට ගන්නා ධාන්‍ය වර්ග අතර මුං ඇට ශ්‍රී ලාකේය ජනතාවට විශේෂිත ආහාරයකි. වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති මුං ඇට නැවුම් බවින් යුතුව මිලදී ගන්නේ කෙසේද? පරිභෝජනයට සුදුසු නුසුදුසු මුං ඇට හඳුනාගන්නේ කෙසේද? v

මුං ඇට කියන්නේ වෙළෙඳපොලේ නිරන්තරයෙන් අලෙවි වන වැඩිම ඉල්ලුමක් ඇති ධාන්‍ය වර්ගයක්.
මුං ඇට ගැන කතා කරත්දී මුලින්ම කිවයුතු කරුණ තමයි මුං ඇට මිනිස් සිරුරට ඉතාම ගුණදායක ආහාරයක් බව. මුං ඇට ආහාරයට ගැනීමෙන් ඇඟ සිසිල් වෙන බවක් ආයුර්වේදයේ සඳහන් වෙනවා. එලෙසම මුං ඇට අප ආහාරයට එක් කර ගැනීමේදී හොඳින් මේරූ මුං ඇට ආහාරයට එක් කර ගත යුතුයි. ඒ සඳහා වෙළඳපොලෙන් මුං ඇට මිලදි ගැනීමේදී හොඳින් මේරූ, වියළි මුං ඇට මිලදී ගැනීමට අප වගබලා ගත යුතුයි. ලපටි මුං ඇට වේලා විකිණීවීමට තබන අවස්ථා ද වෙළඳපොළේදී අපට දකින්නට ලැබෙයි. මෙම ලපටි මුං ඇටවල පෝෂණ ගුණය ඉතාම අල්පයි. ලපටි මුං ඇට තැම්බීමට ලක් කළ විට ඒවා තැම්බීමට කල්ගත වන අතර අපට ද නොයෙය් අපහසුතාවලට ලක්වීම සිදු වේ. තැම්බීමට යෝග්‍යය හොඳින් මේරූ මුං ඇටයි. හොඳින් මේරූ මුං ඇටවල ලා නිල් පැහැයට හුරු කොළ පැහැති පූර්ණ වර්ණයක් දක්නට ලැබෙයි. දිලිසෙන ස්වභාවයක් ද දක්නට ලැබෙයි. පෙනුම අනුව මුං ඇටවල ස්වභාවය විශාලව පෙනෙයි. මේ තත්ත්වයන් අනුව හොඳින් මේරූ මුං ඇට බැලූ බැල්මට සොයා ගැනීමට හැකියි. නමුත් මේවා තුළද ගුල්ලන් විදින ලද අවපැහැ ගැන්වුණ, කැඩුණ, සිදුරු සහිත මුං ඇට පවතී නම් ඒවා කිසිවිටකත් මිලදී නොගත යුතුයි. එවැනි මුං ඇටවල පෝෂණ ගුණයක් නැත. ඒ මන්දයත් එම ඇටවල ගුණය එහි සිටින ගුල්ලන්, පණුවන් වැනි සතුන් උරාගෙන ඔවුන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය මුං ඇට මතට හෙලනු ලබන නිසයි. එම බහිස්‍රාවීය ද්‍රව්‍යවල විවිධ විෂ වර්ග, මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය අඩංගු විය හැකි, අවස්ථා වැඩිය. හොඳින් මේරූ මුං ඇට කුඩා දරුවෙකුට පවා දෙන විවිධ ආහාර සංයෝගයන්ට එක් කරනු ලබන ධාන්‍ය වර්ගයකි. ඒ මුං ඇට දිරවීමට පහසු, ගුණදායක ආහාරයක් වන බැවිණි. පැලවීමට ආසන්න වූ මුං ඇට

ආහාරයට එක් කර ගැනීමෙන් වැඩි පෝෂණ ගුණයක් මිනිස් සිරුරට ලැබෙයි. මුං ඇට වතුරේ බහා දිනක් පමණ තැබූ විට එම ඇට පැළවීමට ලක් වෙයි. මෙලෙස පැළ වූ මුං බීජවල මුං ඇටයේ ඇති සියලු පෝෂ්‍ය පදාර්ථ එක්කාසු වීම සිදු වේ. එවිට එම පැළ වූ මුං ඇට ආහාරයට ගැනීමෙන් මුං ඇටයේ අඩංගු සියලු පෝෂණ ගුණ සිරුරට ලැබේ. ඒ නිසා පැළ වූ මුං ඇට ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.



මුං ඇට කල්තබා ගැනීමට හා කෘමින්ගෙන් රැකීමට රසායනික ද්‍රව්‍ය එකතු කරනවාද?
මුං ඇටවලටත් මැලතියන් රසායනිකය මීට ප්‍රථම යොදා තිබුණත් නිරන්තරයෙන් සිදු කෙරෙන පරික්ෂණ හා වැටලීම් මඟින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ දඩුවම් කිරීමකට ලක් කරන බැවින් මෑත කාලේ ලංකාවේ පවතින මැලතියන් තහනමක් සමඟ මෙන්ම මිනිසුන්ගේ තිබෙන දැනුවත්භාවයත් සමඟ මුං ඇට සඳහා මැලතියන් යෙදීම බොහෝ සෙයින් වැළැකී තිබෙනවා. මෑතකාලයේ අප කළ වැටලීම්වලදී මැලතියන් යෙදූ මුං ඇට හමු වුණේ නැති තරම්.



හොඳ, නැවුම් මුං ඇට තෝරා ගන්නේ කෙසේද?
හොඳ මුං ඇට වෙළඳපොළෙන් සොයා ගැනීම තරමක් අසීරුයි. වෙළඳපොළේ හොඳින් මේරූ මුං ඇට වගේම පරිභෝජනයට නුසුදුසු නොමේරූ මුං ඇට වේලා විකිණීමට තබන අවස්ථා මෙන්ම ගුල්ලන්, පණුවන් මෙන්ම කැඩුණු මුං ඇට ද විකිණීමට තබා තිබෙන අවස්ථා දක්නට ලැබෙන නිසා සාමාන්‍යයෙන් මේරීමට ලක් වූ මුං ඇට ජලයට දැමූ විට එම ඇට ජලයේ ගිලී යන අතර මේරීමට ලක් නොවූ ලපටි මුං ඇට ජලයේ පාවී යන බවක් දක්නට ලැබේ. එලෙසම සාමාන්‍ය පමණට වඩා කුඩා ප්‍රමාණයේ ඇට දක්නට ලැබේ නම් එයත් නොමේරූ මුං ඇට වියළා, එනම් මේරීමට ප්‍රථම අස්වැන්න නෙළා ගත් මුං ඇට විකිණීමට තබා ඇති අවස්ථාවක් විය හැකියි.

මුං ඇට තැම්බීමට ප්‍රථම හොඳින් සේදීම අත්‍යවශ්‍ය කරුණකි. මුං ඇට හොඳින් සෝදා පෙඟීමට දැමිය යුතු අතර රාත්‍රිය පුරා මුං ඇට පෙඟීමට ලක් වූ ජලය ද ඉවත් කර යළිත් දෙතුන් වතාවක් සෝදා තැම්බා ගැනීම වැදගත් වේ.



මුං ඇට තැම්බූ ජලය බීම ගුණදායයකද?
මුං ඇට තම්බූ වතුර බීම ගුණදායක වන නමුත් අප බීමට ගත යුත්තේ රසායනික ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ බවට සහතික කර ගත හැකි පිරිසුදු මුං ඇට තැම්බූ ජලය පමණි. හේනකින් අස්වනු නෙළන විගස සුද්ද කළ පිරිසුදු මුං ඇට තම්බා එහි ජලය බීම යෝග්‍යය. නමුත් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා මුං ඇට තැමබූ ජලය පෙරා බීම සියයට සියයක්ම අනුමත කළ නොහැක. බොහෝවිට විශාල ලෙස මුං ඇට ඇසිරූ ගබඩාවල ඇති මුං ඇට කෘමි හානි උවදුරුවලින් වළක්වා ගැනීම සඳහා ධූමායනය (ටදථඪඨචබඪධද) කිරීමකට ලක් කරනවා. මෙලෙස රසායනික ද්‍රව්‍යයක් ගබඩාවලදි භාවිතා කරන නිසා මුං ඇට තැම්බූ ජලය පානය කිරීම අවදානම් සහිතය. නිවෙසේදී හෝ සාමාන්‍ය හේනක වස විසෙන් තොරව වගාකර ගත් මුං ඇට තම්බා එම වතුර පානයට ගත හැකි නම් එය ඉතාම යෝග්‍ය පෝෂණීය පානයක් වනවා.

මුං ඇට යනු ප්‍රෝටීන් අධික, විටමින් හා ඛනිජ ලවණ බහුල ධාන්‍ය වර්ගයක්. මිනිස් ශරීරය සිසිල් කරනු ලබන ගුණ තිබෙන නිසාම උදේ ආහාරයක් ලෙස මුං ඇට ආහාරයට එක් කර ගන්නවා නම් එය ඉතාම වැදගත්. මුං ඇට කබලේ බැද පියලි කර ව්‍යංජනයක් ලෙස ආහාරයට එක් කර ගැනීමත් ගුණදායකය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment