පුතාලාගේ ලිංගික අවයවවල පිහිටීම පිළිබඳව අම්මලා දැනුවත් ද?

අපේ පුතාලා ගැන මට හරිම බයයි අනේ. කාගෙන්වත් අහන්න විදිහකුත් නැහැ. ඩොක්ටර් ගෙන් අහන්නත් මොකක්ද වගේ. දවසක් ඩොක්ටර්ගෙන් අහන්නම ගිහින් ලැජ්ජාවක් හිතුන නිසා ආපසු ආවා”

“ඇයි මොනවා හරි ලොකු ප්‍රශ්නයක්ද?
දන්නෙ නෑ අනේ අපේ පුතාලා තුන්දෙනාගෙ හැසිරීම් , ඉරියව් එකිනෙකට වෙනස් ඒ විතරක් නෙවෙයි, අවයව පිහිටලා තියෙන විදිහෙත් ප්‍රශ්න තියෙනවාද මන්දා. දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් හුඟක් හොඳයි අනේ.. ඒත් අහන්න ලැජ්ජයිනේ”

පුංචි දරුවො ඉන්න තරුණ අම්මලා අතරේ ඇති වූණ කතා බහක් ඒ...

වත්මන් අම්මලා විතරක් නෙවෙයි තාත්තලාත් දරුවන්ගේ ලිංගික අවයව පිහිටීම, වයසත් සමඟ එම ඉන්ද්‍රියයන්ගේ වර්ධනය, සහ සංකූලතා පිළිබඳව දැනුවත් නැහැ. නොදැනුවත් කම නිසාම නැති ලෙඩ මවා ගන්නවා විතරක් නෙවෙයි, හිතත් ලෙඩ කර ගන්නවා.

එහෙයින් පිරිමි දරුවෙකු උපන්දා සිට ඔහුගේ ලිංගික අවයව විකසනය වන අන්දම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදු කිරීම කාලෝචිත බව සිතුවෙමු. ඒ සඳහා සවිස්තරාත්මක තොරතුරු ගෙන එන්නේ, මහනුවර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගංගා පතිරණ මහත්මියයි.

මවකගේ ගර්භාෂයේ ඇති වූ කලලයක අවයව බෙදී වෙන් වී විකසනය වන්නේ මුල් මාස තුන තුළදීයි. වෘෂණ, උකුල් ප්‍රදේශය හරහා කෝෂ වෙතට ගමන් කරනවා. පිරිමි දරුවෙකු ඉපදුන දින සිට වසර 10 ක් වනතුරු ලිංගික අවයව ශීඝ්‍ර වර්ධනයක් සිදු වන්නේ නැහැ. ලිංගික වර්ධනය සිදුවනනේ නව යොවුන් වියේදී අතර එම නව යොවුන් විය අවධි තුනකට යොමු වෙනවා.


I මුල් අවධිය වයස අවුරුදු 10 - 14

II මධ්‍යම අවධිය වයස අවුරුදු 15 - 19

III අවසන් අවධිය වයස අවුරුදු 20 - 24

පිරිමි ලිංගික අවයව වන වෘෂණයේ වර්ධනයත් පුරුෂ ලිංගය හෙවත් ශිෂ්ණයේ වර්ධනයත් ඇති වන අවස්ථාව වන විට සිරුරේ පැහැදිලි වෙනස්කම් මෙන්ම, සිතිවිලි, සිතුම් පැතුම්, හැඟීම් ආදියෙහිද පැහැදිලි වෙනස්කම් ඇතිවනු දක්නට ලැබෙයි. වයස අවුරුදු 10 න් පසුව ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වීම ආරම්භ වන අතර ඒ කාලයේදී පිරිමි දරුවන්ගේ

* පපුවේ, පිටේ, ඉකිලිවල රෝම මතු වීම

* ස්වරාලය ඉදිරියට නෙරා ඒම

* කටහඬ ගොරෝසු වීම

* මස්පිඩු වර්ධනය වීම

* දැලි රැවුල මතුවීම වැනි වෙනස් කම් දැකගත හැකියි.

මේවා සාමාන්‍ය ස්වභාවික තත්ත්වයන් වන අතර, මේ හැරුණු කොට වත්මන් දෙමව්පියන්ට ගැටලුකාරී වන, නොදැනුවත් අවස්ථා කිහිපයක් ඇත. එම ගැටලු පිළිබඳ සාකච්ඡා කරමු.

I අලුත උපන් දරුවෙකුගේ වෘෂණ කෝෂ වෙත පැමිණ නොතිබීම.
වකුගඩු ආසන්නයේ නිපදවෙන වෘෂණ, කෝෂ දක්වා එන මාර්ගයේ අතර මඟක නැවතීමෙන් කෝෂ එකක් හෝ දෙකම හිස්ව පැවතීමට පුළුවන. එවිට මල්ලක් වැනි කෝෂ හිස්ව තිබේ. එවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

II මුත්‍ර මාර්ගයේ විවරය නිසි තැන පිහිටා නොතිබීම (Hypospadias)
පුරුෂ ලිංගයේ ශිෂ්ණ මුණ්ඩයේ මුහුණත මුත්‍රමාර්ගයේ විවරය පිහිටා තිබීම සාමාන්‍ය තත්ත්වය වුවද, එය එසේ නොවී වෙනත් තැනක, ( අතරමඟ, පැත්තකින්, ඇලයකට හැරීමෙන්) පිහිටා තිබිය හැකිය. මෙවැනි අවස්ථාවකදී ද වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ඔබට මතු වී ඇති ගැටලු වලට විසඳුම් ලබා ගත හැක.

III මුත්‍රා පිටකිරීම සඳහා සූදානම් වන අවස්ථාවේ පුරුෂලිංගය ඍජු නොවීම.
මුත්‍රාශය පිරී නැතිවිට, එමගින් ඇතිකරන පීඩනය හේතුවෙන් ඇතැම් දරුවන්ගේ පුරුෂ ලිංගය (ශිෂ්ණය) ඍජු වීමට ඉඩ ඇත. වත්මන් දෙමාව්පියන් මෙය අර්බුදකාරී තත්ත්වයක් ලෙස වටහාගෙන තිබුණ ද එය රෝගී තත්ත්වයක් නොවේ. මුත්‍ර පිටකිරීමට ආසන්න අවස්ථාවක පුරුෂ ලිංගය ඍජු වූවද ඍජු නොවූවද එය රෝගයක් නොවන බව අවබෝධ කර ගැනීම අතිශය වැදගත් කරුණක්.

IV පුරුෂ ලිංගයේ පෙරසම ආශි‍්‍රත සංකූ®ලතා,
කුඩා වියේදී වයස අවුරුදු 05 වන තෙක් නිතර නිතර පෙරසම පසුපසට දමා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය නොවේ.

නමුත්,

පෙරසමේ මුදුණත ඇති විවරය Pinhole Meatus ඉතා කුඩා Meatus නම් පෙරසමත් ශිෂ්ණ මුණ්ඩයත් අතර මුත්‍රා එකතු වී පෙරසමේ පිම්බීමක් ඇති වේ. එවිට මුත්‍රා බිංදු බිංදු වැටීමටත්, පෙරසම සහ ශිෂ්ණ මුණ්ඩය ආශි‍්‍රතව බැලුනයක් සේ පිම්බීමටත් ඉඩ ඇත. මෙම තත්ත්වය Balloning of Prepuce ලෙස හඳුන්වයි. මෙවැනි අවස්ථාවකදී ද වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

V දිලීර රෝග තත්ත්වයන්,
ලිංගික අවයව හා ඒ ආශි‍්‍රත ප්‍රදේශය තෙතමනයෙන් යුක්ත නම්, දිලීර රෝගී තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇත. මෙසේ සිදුවන්නේ, ඩයපස් හෝ නැපි දිගුවේලාවක් අන්දවා තැබීම නිසා හෝ තෙත යට ඇඳුම් අන්දවා තැබීම නිසා විය හැකියි. පෙරසම, පුරුෂලිංගය, කෝෂ, තට්ටම්, ගුද මාර්ගය සහ ගුදය අවට, රතු වීම, ඉදිමීම, තුවාල වීම හෝ කැසීමක් ඇති වී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

VI වෘෂණ ආසාදන
කම්මුල්ගාය රෝගය වැළදීමෙන් පසු ඇතැම් දරුවන්ට එම වෛරසය මඟින් වෘෂණ ආසාදන ඇති විය හැකියි. වෘෂණ කෝෂ රතු වී, ඉදිමී, වේදනා ඇති වෙයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

තවත් අවස්ථාවක හිටි හැටියේ වෘෂණ කෝෂවල තදබල කැක්කුමක් ඇති වුවහොත් වහාම ළඟම ඇති වෛද්‍යවරයා වෙත පෙන්වීම අත්‍යාවශ්‍යය.

හිටි හැටියේ තදබල වේදනා ඇතිවීමට හේතු දෙකක් ඇත.


1 වෘෂණයක් කැරකීමට ලක් වීම Torsion of the testis
එහෙයින් රුධිර සැපයුම අඩාල වීමක් සිදු වේ. එය වැඩි වේලාවක් පැවතිය හොත් වෘෂණ මිය යාමට ලක්විය හැකියි.


2 හර්නියා තත්ත්වයක් Indirect Inguinal Hernia
වෘෂණ කෝෂ ආශි‍්‍රතව යටිබඩ ආශි‍්‍රතව ඉදිමීමක් පෙන්වනවා නම්, ඇතැම් විට එය හර්නියා තත්ත්වයක් විය හැකියි. බඩවැල පහළට සම්බන්ධ වන අන්ත්‍රයක් වෘෂණ එන මාර්ගය පහළට පැමිණ හිර වීමක් ද විය හැකියි.

මෙම අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් අත්‍යාවශ්‍ය වේ.

VII ශිෂ්ණය කුඩා සතෙකු හැපීමෙන් තුවාල වී හෝ කැක්කුමක් ඇති වී ඇත්නම්, සෙල්ලම් කිරීමේදී හෝ වෙනත් අවස්ථාවකදී ශිෂ්ණයට හෝ වෘෂණ කෝෂ වෙත පහරක් වැදී ඇත්නම්, වෛද්‍යවරයෙකු වෙත පෙන්වා උපදෙස් ගැනීම අත්‍යාවශ්‍යයි.

VIII පිරිසිදු නොකිරීම මත ඇතිවන ආසාදන
වයස අවුරුදු 5 න් පසුව ශිෂ්ණය හොඳින් දිනකට දෙවරක් පිරිසිදු කළ යුතුය. ශිෂ්ණ මුණ්ඩය සහ පෙරසම සවිවන ස්ථානයේ Tyson Glands ශ්‍රාවය වන ශ්‍රාවය Smegma තරමක් දුඟදය. ඒවා ඉවත් කොට පිරිසිදු නොකළ හොත් ආසාදන තත්ත්ව ඇති වේ.


එම ආසාදන තත්ත්ව ලිංගික හොරි ලෙස හැඳීන්විය හැකි අතර Sarcoptes Scabii නම් මයිටාවෙකුගෙන් ඇතිවන බෝවන රෝගී තත්ත්වයකි. මේවා පුරුෂ ලිංගයේ ඇති වූ කසන කුඩා ගැටිති ලෙස මතු වේ. මෙම අවස්ථාවේ ලිංගික ප්‍රදේශය සහ යට ඇඳුම් වියළිව තබා ගැනීමටත් පිරිසිදු ලෙස පත්වා ගැනීමටත් ක්‍රියාකළ යුතුය.

යට ඇඳුම් පිරිසිදු කිරීමේදී විෂබීජ නාශක හෝ සබන් කුඩු සේදුම් කාරක යෙදීම අවශ්‍ය නැත. බේබි සබන් ගා යට ඇඳුම් පිරිසිදු කිරීම ප්‍රමාණවත්ය.

IX මුත්‍රා දැවිල්ල
ශිෂ්ණ මුණ්ඩයේ ඇති මුත්‍රා විවරයේ වේදනාත්මක දැවිල්ලක් ඇති වීම වැදගත්කමින් සැලකිය යුත්තකි. එවැනි තත්ත්වයක් ඇතිවන්නේ විෂබීජ ඇතුළු වීමක් නිසා විය හැකි බැවින් මුත්‍ර මාර්ගික ආසාදනයන් ගෙන් වකුගඩු ආරක්ෂා කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

X ලිංගික අවයව වර්ධනය
ලිංගික අවයව වර්ධනය සිදුවීම ආරම්භ වන වයස සහ වර්ධනය වන වේගය, අවයවවල ප්‍රමාණය දරුවන්ගෙන් දරුවාට වෙනස්ය. ඒ ඒ දරුවාගේ පෝෂණ මට්ටම, ප්‍රවේණිගත තත්ත්වය හෝමෝන වැනි සාධක මත ලිංගික අවයව වර්ධනය වීම සිදුවේ.

එයින් එකම පවුලේ සම වයස් මට්ටමේ සිටින දරුවන් වුවද ගහක එක සමාන ගෙඩි හටනොගන්නා සේ එක සේ වර්ධනය වනු ඇතැයි සිතිය නොහැකියි. එයින් දරුවන් දෙස බලා කලබලෙන් තීරණ ගැනීම නුවණට හුරු නැත.





Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :