ඔය කට්ටිය බෞද්ධ නේද? අපිව මරන්නේ නැතිව ඉපදෙන එක නවත්තන්ඩ


එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා ආයුබෝවන්ඩ. අපේ සනුහරේ එකෙක් නෑර වඳ කරන්ඩ මේ පොසොන් පෝය ළඟ එන වෙලාවෙ හිතන පතන ඔය හැමෝටම කහටක් නැතිව ඔන්න මං සුබ පැතුවා. මේ බෞද්ධ රටේ උන්නැහැලාට මට කතාවක් කියන්ඩ තියෙනවා. කාලයක් තිස්සේ ම කියන්ඩ හිතුණත් ඒ සිතිවිල්ල මං හැමදාම ඉබ්බා ඔළුව කටුව තුළට ඇදගන්නවා වගේ ම යටපත් කර ගත්තා. ඇත්තටම අද නම් කියලම දානවා.

අපට ‘ඩෙංගු’ කියලා අලුත් නමක් දුන්නත් මගෙ නියම නම ‘ඩෙංගි’. මුලින් ම අපි‍්‍රකානු ගෝත්‍රිකයන්ගේ රටේ අපේ මී මුත්තො ඉඳලා තියෙන්නෙ. දැන් ආසියාව පුරාම අපේ සනුහරේ පැතිරිලා. ඔය කොච්චර කෑ ගැහුවත් ලංකාවෙන් විජය රජ්ජුරුවන්ගෙ කාලෙ හිට මදුරුවො ඉඳලා තියෙනවනේ.

ඒත් කාලෙන් කාලෙට අපේ පරම්පරාවෙ ඇත්තො එක් එක් නමින් හඳුන්වනවා. ස්වභාවධර්මය හරිම පුදුමාකාරයි. කට්ටියක් මස් කාලා ජීවත් වෙනවා. තවත් කට්ටියක් කොළ කාලා ජීවත් වෙනවා.

කොටින්ට, ව්‍යාඝ්‍රයන්ට, සිංහයන්ට තණ කාලා ජීවත්වෙන්ඩත් බෑ. මුවන්ට, හාවන්ට, ගෝනුන්ට මස් කාලා ජීවත් වෙන්ඩත් බෑ. ඒ ඒ අය ජීවත් වෙන්නේ ඒ ඒ විදියට. ඔය කට්ටිය හිතන්නෙ වඳුරන්ව රිලවුන්ව බිම ඇවිද්දවන්ඩ. කවරදාවත් මේවා වෙලා තියෙනවාද?

අපව නිර්මාණය වෙලා තියෙන්නෙ මනුෂ්‍ය ලේ බීලා ජීවත් වෙන්ඩ. අපට මල් පැණි බොන්ඩ බෑනෙ. ඒත් “මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්ඩ” කියලා ගීතයක් නම් කවුරුදෝ කීවා වගේ මතකයි. මේවා ගීතයට හොඳයි. ඇත්තට නම් වැරැදියි.

ඔයගොල්ලන්ඩ වගේම අපටත් ළමා ළපැටින් ඉන්නවා. ඒ හුරතල් කතාවට සිනාවට අපිත් ආසයි. ඒ අය නැතිවුණාම අපටත් දුකයි. ඒත් ඔබ හිතනවද අපි ඒ මල් කැකුළු ළඟට ළං වන්නෙ ඔවුන් මරා දමන්ඩ කියලා. නෑ. කිරි රහට ලේ ටිකක් බොන්ඩ විතරයි. කරුමෙට අපි ලේ බොන තුඩ අස්සෙන් වෛරසයක් ගිහින් පුංචි එවුවො ලෙඩ වෙනවා. ඊළඟට මැරෙනවා. අනේ! එහෙම බලාපොරොත්තුවක් අපට තුන්හිතකවත් නෑ. අපට තිබුණේ එක් අරමුණක් විතරයි. බඩගින්නට ලේ ටිකක් බොන්ඩ.

මගෙ ඉතිහාස දැනුම ඇහුවොත් ඔය අය හිතයි මේකා නම් එසේ මෙසේ මදුරුවෙක් නෙවෙයි. මෙසේ එසේ මදුරුවෙක් කියලා. මහත්තුරුනේ: ඔයගොල්ලො කොච්චර වලිකෑවත් එදා අනුරාධපුර ශිෂ්ටාචාරය නැති කරලා දැම්මෙත් අපේ මී මුත්තෙක්. ඒ මැලේරියා වසංගතය රටට දීලා. ඔයගොල්ලන්ගෙ බුද්ධදාස රජ්ජුරුවොත් ‘චරක සංහිතාව‘ වගේ පොත් ලිව්වා. ඒත් මදුරු දෂ්ටයෙන් හැදෙන ලෙඩවලට ඒ පොත්වලත් ප්‍රතිකාරයක් නෑ. ඒකනේ ‘මැලේරියා’, ‘බරවා’ තවමත් තැන් තැන්වල තියෙන්නෙ.

ඔය කට්ටිය බෞද්ධ නේද? ටිකක් හිතලා බලන්ඩ. ඔබට ඔබේ ගෙදරදි කෑම නෑ. කන්ඩ හොයාගෙන එහා ගෙදරට යනවා. ඒ ගෙදර දොර වැහෙනවා. ඊළඟ ගෙදරට යනවා. ඒ ගෙදරත් දොර වැහෙනවා. ඒ යන එන ගමන් ‘චටාස්’ ගාලා අත්තල පහරක සද්දයක් ඇහුණොත් ඉතින් අපේ එකා ආයු සංස්කාරය අත්හැරියා කියලා අපි හිතාගන්නවා. අර විදියට ගෙන් ගෙට ගිහින් අපි හොරෙන් කිට්ටුවෙන්නෙ ලේ බිඳක් බොන්ඩ. බඩගින්න නිවාගන්ඩ. ඒ ඇරෙන්න ලෙඩ බෝ කරන්ඩ නම් හිතුවෙම නෑ.

හදිසියෙ පුංචි එකෙක්ගෙ ලේ බීලා එයා ලොඩ වෙලා මැරුණොත් ඔක්කොම සද්දෙ දානවා අපිට. තවත් මල් කැකුළක් ඉවරයි. ඒ විදියට පත්තරකාරයොත් සද්දෙ දානවා. අපේ ළමා ළපැටින්ට අපිත් ආදරෙයි. ඔබට තියෙනවද අපේ දරුවන් ගැන උකුණු හිසක හැඟීමක්. අනෙක ඔය සද්දෙ දාන සමාජයේ තමයි ළමා අපචාර වෙන්නෙ. ‘සමූහ දූෂණ’ වෙන්නෙ. ඒත් ළමයින්ට. ඔයගොල්ලො අහලා තියෙනවද? අලියෙක්, මුවෙක්, ගෝනෙක්, හාවෙක්, මං වගෙ මදුරුවෙක් ළමා අපචාර කරපු කතාවක්. එහෙනම් මිනිහා තමයි නොමිනිසා වෙලා තියෙන්නෙ. මදුරුවා මදුරුවාමයි.

අපි ඉස්සර බිත්තර දැම්මෙ පිරිසුදු වතුරෙ. ඊට පස්සෙ පල්වතුරටත් අපි පුරුදු වුණා. ඉස්සර අපට ‘ඩියුටි ටයිම්’ එකක් තිබුණා. දැන් ඒවාත් වෙනස් කරගත්තා. ඒ මිනිහා විශ්වාස කරන්ඩ බැරි සතෙක් නිසයි. වැහි පීලිවල වතුර රඳවන්නෙ. ටින් කබල්වල වතුර රඳවන්නෙ. පරණ ටයර්වල, මල් පෝච්චිවල වතුර රඳවන්නෙ අපේ අය නොවෙයිනෙ. ඒවා දැක්කම අපේ ගැහැනු සත්තු ඒවයෙ බිත්තර දානවා. ඉතින්! බඩගින්නට ලේ බොන්ඩ හොයාගෙන යන කරුමෙට තවත් දහස් ගණනක් මේ ලෝකෙට ඉපදෙනවා. මට නම් ජීවිතේත් එපා වෙලා ආයුබෝවන්ඩ.

කොළඹ ඉස්කෝලෙ ගොඩකට ආයතන ගොඩකට අපි ගියේ කිසිම ‘පර්මිට්’ එකක් නැතිව. ඇතුළු වෙන්ඩ බැරි ජනපි‍්‍රය ස්කෝල, නීති උගන්වන තැන් මේව අපේ මදුරු තවාන් නොවෙයි නගර බවට පත් කළේ කවුද? ඔබමයි. මේ අපිරිසුදු අනවශ්‍ය තැන් පිරිසුදු නොකළා ම අපේ කට්ටිය කරුමය ගෙවන්න උපදිනවා. කාගෙද වැරැද්ද? ඔබේ ම නොසැලකිලිමත්කම. ඒකට අපට දොස් කියන්ට නම් එපා. අපි කාටත් සාධාරණයි. කුඩා දරුවාට, වැඩිහිටියාට, දොස්තරට, හෙදියට, ධනකුවේරයාට, දුප්පතාට කියලා වෙනසක් නැතිව අපි දෂ්ට කරනවා. ඒත් බලාපොරොත්තුව මරන්ඩ නොවෙයි. ලේ බොන්ඩ.

ඉතින් ආයුබෝවන්ඩ! ඔය සමහර ශීත රටවල මුහුද අයිනේ ජීවත්වන සමහර ගෝත්‍රිකයන්ට කන්ඩ තියෙන්නෙ සීල් මත්ස්‍යයාගේ මස් විතරයි. බොන්ඩ තියෙන්නෙ සීල් මත්ස්‍යයාගේ ලේ. වෙන කිසිම දෙයක් ඇත්තේ නෑ.

අපිටත් මේ ප්‍රශ්නයට කරන්ඩ දෙයක් නෑ. අපට ආහාරයට තියෙන්නෙ මනුෂ්‍ය ලේ විතරයි. ඒ ටික බොන්නෙත් හැම මොහොතෙම ජීවිත අවදානමකින්. හොරෙන්. ඔය කට්ටිය ඩෙංගු බෝ වෙලයි කියලා පිකට් කරන්නෙ. උද්ඝෝෂණය කරන්නෙ නැතිව තමන්ගෙ වත්ත පිටිය, මල් පෝච්චිය, වැහි පීල්ල පිරිසුදු කරගන්ඩ. පිකට් කරන්ඩ ඕනෑ අපට විරුද්ධව නොවේ. ඔබේ ම නොසැලකිල්ලට විරුද්ධවයි. අනෙක වැස්ස කාලෙට විතරක් හිතලා වැඩක් නෑ. පායන කාලෙටත් මේවා හිතපල්ලා. හැම තැනම සුද්ධ පවිත්‍ර කරගනිල්ලා.

අපට සංසාරය වළක්වන්න බෑ. ඉපදුණොත් අපි කවුරුත් මැරෙනවා. ඒත් මැරෙන උපදින එක නවත්වන්ඩ කාට හරි පුළුවන් නම්. ඒක තමයි කරන්ඩ ඕනෑ. ඒ ශ්‍රේෂ්ඨ දහම ලංකාවට වැඩමවාපු මේ මහ පෝයදි ඒ ටික තේරුම් ගන්ඩ ඕනෑ.

දිගින් දිගටම අපේ මදුරු නගර විනාශ කරන්ඩ. ගෙවල් දොරවල් සුනු විසුණු කරන්ඩ. අපේ සනුහරේ කවුරුවත් නැති වුණාම අපට මේ දුක් සහිත ජීවිතය අවසන්. ඒත් මං මේ ටික කීවාට මගේ සනුහරේ බොහොම අය ඔයගොල්ලන්ගෙන් ජීවත්වන්නට සෙනෙහස ඉල්ලනවා. ඒ වගේම තවත් බොහෝ අය ඒ විදියට නොසැලකිලිමත්කම නිසා අපට නැවත ජීවිතය දෙනවා.

ඉතින්? අපි සංසාරයෙන් එගොඩ වන්නෙ කොහොමද? මේ දුක් සහිත ජීවිතය අවසන් කරන්නෙ කොහොමද? ‘රුචිරාණනි! මේ අහන්ඩ! එක පාර මා මරන්ඩ.’ එහෙම සින්දුවකින් ඔයගොල්ලම කීවා වගේම එක වතාවෙම අප විනාශ කරලා දාන්ඩ. නැත්නම් ශිෂ්ටාචාරයක් විනාශ කරපු අපට ජාතියක් රටක් වළපල්ලට ගොනියන්ඩත් බැරිකමක් නෑ.

අන්තිම වතාවටත් ඔබට කියන්නෙ අප ඉල්ලුවේ ඔබේ ජීවිතය නොවෙයි. ඔබේ ලේ බිඳක් විතරයි කියලා මතක තියාගන්ඩ. අපට ලේ මිසක් මල්පැණි බොන්ඩ බෑ.

ඔබට දීර්ඝායු වේවා! ආයිබෝවන්ඩ.

ඩෙංගු මදුරු කීටයන් අතර සිටි මහලු මදුරුවකු සමග කතා බහ

උපාලි සමරසිංහ


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment