ගිහි ජීවිතයේ බොදු පිළිවෙත කෙසේ විය යුතුද?

ගෘහයක වසන්නා හෙවත් ගිහියා වනාහි විවාහාදී බන්ධනයන්ට බැඳී, ජීවත්වීම සඳහා ආර්ථික ජීවනෝපායන්හි යෙදී, කාමභෝගී ජීවිතයක් ගත කරන්නෙකි. බාහිර වූද අභ්‍යන්තර වූද වගකීම් රැසකින් බැඳී ජීවන ගමනේ මහ බරක් දරා සිටින ගිහියා මොනරකුට උපමා කැරේ. නිවන් මගට ගිහි - පැවිදි භේදයක් නැතත්, එම මගෙහි යෑමට පැවිද්දාට වඩා ගිහියාට ඇත්තේ අඩු වාසියකි. ගිහි හෝ පැවිදි හෝ වහර යෙදෙන්නේ, මනුෂ්‍යයන්ට පමණකි.

සාර්ථක ගිහි ජීවිතයක් සඳහා නිවැරැදි හැඩගැස්මක් යෝජනා කරන බුදුදහම , උපතේ සිට මරණය තෙක් පමණක් නොව මතු භව පැවැත්ම සඳහා ද නිවැරැදි මගක් පිරිසිඳ දක්වයි. මහා මංගල ,පරාභව , වසල , සිඟාලෝවාද ව්‍යග්ගපජ්ජ වැනි සූත‍්‍ර වලින් මේ නිවැරැදි හැඩගැස්මට අවශ්‍ය කාරණා රාශියක් පෙන්වා දෙයි. කිසිවෙක් උපතින්ම බෞද්ධයෙකු නොවූවත් ,බොදු පවුලක උපතක් ලැබීම නම් මහා වාසනාවකි. බොහෝ දෙනකුට මේ වාසනාව හඳුනාගත නො හැකිය. ආගම දහම අනුව පුද්ගලයන් කොටස් කැරෙන සමාජ සම්මුතියෙන් ලැබෙන බෞද්ධකම , හොඳ ඇඳුමකින් සැරසී බෝධියක්, බුදුගෙයක්, වෙත ගොස් මලක් පහනක් ඉඩක් ලත් විට පූජා කිරීමෙන් පමණක් ලැබෙන්නක්ද නොවේ. බෞද්ධයාගේ පරම නිෂ්ඨාව නිවන වුවද, බුදුදහම නිවන උදෙසා ඍජුවම කළ යුතු කටයුතු පමණක් ම නිර්දේශ කරන දහමක් ද නොවේ. බුදු දහමෙන් නිර්දේශ කැරෙන රහස්‍ය හෝ ගුප්ත කිසිවක් නැති, අංග සම්පූර්ණ ගිහි වතක් ඇත. එය අවශ්‍ය වූ වේලාවට ඇඳගෙන , පසුව ගලවා පසෙක තබා අලංකාර ඇඳුමක් මෙන් වූ එකක් ද නොවේ. එය යාවත්කාලීනව ජීවිතයට බද්ධව පවතින්නක් විය යුතුය. ගිහි ජීවිතයේ ලෞකික පැවැත්ම උදෙසා භෞතික සම්පත් පරිහරණය ප‍්‍රතික්ෂේප කැරෙන ආඥාද , එහි නැත.

අද ශ‍්‍රව්‍ය - දෘශ්‍ය උභය මාධ්‍ය මගින් දෙනු ලබන වෙළෙඳ දැන්වීම් දෙස බලමු. ඒ සියල්ල ගිහියාට මිස පැවිදි පක්‍ෂයට නොවේ. ඉන්ද්‍රිය සන්තර්පණය සඳහා ඇති අවශ්‍යතා පුළුල් කිරීමටත්, නැති අවශ්‍යතා ඇති කිරීමටත් වාණිජ ක්‍ෂේත‍්‍රය සැදී පැහැදී සිටියි.

නූතන ගෘහය, ප‍්‍රදර්ශනාගාරයක් වැනි යැයි කීම, වරදක් නොවේ. විද්‍යා තාක්ෂණයේ වර්ධනයත් සමග ගිහි ජීවිතය එන්න එන්නම සංකීර්ණ වෙමින් පවතී. එම අභියෝග හමුවේ නැගීී සිටීම සඳහා, වෙනස්වන ලෝකයත් සමග වේගයෙන් වෙනස්වීමට අද ගිහියාට සිදු වී තිබේ. මෙය කොතරම් වෙහෙස කරද , පීීඩාකාරී ද කිවහොත්, එකී අවශ්‍යතා තුලනය කර ගැනීම සඳහා ආගම දහම ද උපයෝගී කර ගන්නා තැනට අද අපි පත්ව සිටිමු. ඒ අනුව ඒ සඳහා අනවරත දායකත්වයක් දීමට පැවිදි පක්‍ෂයට ද සිදු වී ඇතැයි කීම, උන්වහන්සේට කරන අගෞරවයක් නොවේ. ඒ නිසා ඒ උතුමන්ට ද ස්වකීය හංස ව‍්‍රතය බැහැර කොට, මොනර ව‍්‍රතය පිළිපැදීමට තරම් කරුණු උදා වී ඇති සෙයක් පෙනෙයි. ගිහියාගේ ලෞකික සෙත් ශාන්තිය සඳහා වූ නොයෙකුත් කටයුතු ඉටුකර දීමෙහි ලා අද පැවිදි පක්‍ෂයද ගත කරන්නේ, අපමණ අවිවේකී ජීවිතයකි. ගිහි බොදු ජනතාවට කොතරම් අපල තිබේද යන්න අප රටේ බෝධි මූලයක් ළඟට ගිය විට දැකගත හැකිය.

දහමට අනුව මිනිස් දිවියෙහි අගය දකින සමහර නැණවත් අය, ගිහි ජීවිතයේදී අත් දකින්නා වූ අසුන්දර පීඩාවන්ගෙන් මිදීම සඳහා දහම් මග ගැනීමට වෑයම් කරති. ඔවුන් තුළ දුක පිළිබඳ සත්‍ය ඥානය හෙවත් මේ දුක යැයි දැනීම යම් තරමකින් හෝ පහළ වී තිබීම ඊට හේතුව විය හැකි ය. තවත් සමහර අය ඒ හරය වටහා ගත්තද ගිහි බැම්මෙන් මිදී යෑමට නොහැකිව ලත වෙති. නැතහොත් ගෘහස්ථ කටයුතු අවසන් වන තුරු කල් දමති. ඒ පිරිසෙන් අන්‍ය වූ වැඩි දෙනෙක් කම් සුව විඳීම සඳහා දුක් විඳීමෙහි ම යෙදී වාසය කරති. බුදු දහමට අනුකූල වූ ගිහි ජීවිතයක් යනු වියපත් වූ විට අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළක් යැයි සිතන්නෝ ද එමටය.

සොබා දහමේ සියලු දේ සහ සියලු ශක්තීන් ගිහියා ගේ සුඛ විහරණය සඳහා අකාරුණික ලෙස නතු කර ගැනීමට තරම් අද මිනිසා සාහසික වී ඇත. එය අනවරත නොනිමි සටනකි. ‘මිනිසා වනාහි සොබා දහමේ ම ඒකකයකි’ යන්න , අමතක කර ඇත. මිනිසා සහ සොබා දහම අතර තිබිය යුතු සම්බන්ධතාව සහ සහජීවන වැඩියෙන්ම අගය කරන දහමකි. බුදුදහම එමගින් හැඩ ගැසුනු මනසක් ඇති ගෘහස්ථයාගේ පළමු පුහුණු විය යුතු වන්නේ, ගහකොළ , සතා සිවුපාවා , ඇළදොළ , ගංගා ඈ ස්වාභාවික සම්පත්වලට කිසිදු හානියක් හෝ අගෞරවයක් නොකිරීමේ පිළිවෙතය. මේවාට හානි කරන්නෝ බුදු දහමින් නිර්දේශිත ගිහි වත කඩ කරන්නෝ වෙති. සොරකම, වංචාව, දූෂණය , ප‍්‍රාණඝාතය, මුසාවාදය, සුරාපානය වැනි අධාර්මික පැවතුම් සමග ඔවුහු අත්වැල් බැඳගත්තෝ වෙති.

අප කරන කියන සියලු කටයුතු වලින් වියුක්ත පරිබාහිර විශේෂ පිළිවෙතක්, ධාර්මික ගිහි දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය යැයි බුදු දහම් යෝජනා නො කරයි. බුදු දහමෙන් යෝජිත වැඩ පිළිවෙළ දිවි මගේ සියලු කටයුතු තුළම ඒ සමගම ප‍්‍රායෝගික වන්නකි. උට්ඨාන වීර්ය සම්ප‍්‍රදාව හෙවත් ධෛර්ය සම්පන්නව වෙහෙස මහන්සි වී ධන සම්පත් උපයා ගැනීම , බුදු දහමින් අනුමත වී ඇත. එහෙත් එය ධාර්මිකව කළ යුතු වෙයි. ධාර්මික පැවැත්මෙන් ලබන්නා වූ සුඛය හෙවත් අනවජ්ජ සුඛය ඉහළතම සුවයයි. බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගත් තැනැත්තා තුළ වැඩී පවතින ප‍්‍රධාන ගුණාංගයක් වන්නේ, අවංකකමයි. ඔහු පංච ශීල ප‍්‍රතිපදාව ස්වකීය ජීවන පිළිවෙත කර ගනියි. එය ජීවිතය පුරාම ඔහුගේ හිත සුව පිණිස පවතී. ඔහුට පුද පූජා ආදියෙන් අමුතුවෙන් ලබාගන්නට දෙයක් නැත. ඔහු බෝධිය අබියසට ගොස් වැඳුම් පිදුම් කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය ආවර්ජනය කරමින් බුදු ගුණ වසිතාව පිහිටුවා ගැනීමටය.

දැහැමි සමාචාරයේ යෙදෙන ගිහියකු විසින් විමසිය යුතු කරුණු අටක්, දහමෙහි දැක්වෙයි. කුසලය කුමක්ද? ල(කිං කුසලය) අකුසලය කුමක්ද? (කිං අකුසලය ) වැරැදි කි‍්‍රයා මොනවාද? (කිං සාවජ්ජං ) නිවැරැදි කි‍්‍රයා මොනවාද (කිං අනවජ්ජං) සේවනය කළ යුත්තේ කුමක්ද? (කිං සේවතබ්බං ) සේවනය නොකළ යුත්තේ කුමක් ද? (කිං නසේවිතබ්බං ) කරන කියන දේ වලින් දීර්ඝ කාලයක් හිත සුව පිණිස වන්නේ කුමක්ද? (කිං වා පන මේ කයිරමානං දීඝරත්තං හිතාය සුඛාය හෝති) දීර්ඝ කාලයක් අහිත පිණිස දුක පිණිස වන්නේ කුමක්ද? (කිං වා පන මේ කයිරමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හෝති) යන අටයි. මේ කාරණා මගින් දැක්වෙන තතු දැන ගැනීම සඳහා ධර්ම ශ‍්‍රවණය , සත්පුරුෂ සේවනය, ධර්ම සාකච්ඡා ආදිය ඉතා වැදගත් මාධ්‍ය වෙති. ඒ වැටහීම ලත් ගෘහස්ථයා තමාට කොපමණ වැඩ රාජකාරි තිබුණත් , ඒවා තම ධාර්මික දිවිපෙවෙතට බාධාවක් කර නොගනියි. ඔහු වැඩ අඩු එමෙන්ම පහසුවෙන් පෝෂණය විය හැකි අල්පේච්ඡ ජීවිතයක් ගත කරයි.

බුදු දහමට අනුව ජීවිතය හැඩ ගැස්වීම සඳහා අවශ්‍ය නිවැරැදි කි‍්‍රයාකාරකම් කුඩා අවදියේ සිටම පුහුණු කළ යුතුය. මේ සඳහා මවුපියන් ප‍්‍රධාන වැඩිහිටියන්ට අකුරු කරවන්නන්ට, මාධ්‍යයට පැවරෙන්නේ, විශාල වගකීමකි. සත්‍ය ගරුකවීම මවුපියගුරු වැඩිහිටියන්ට ගරු කිරීම, පරෝපකාරය කෘතගුණ සැලකීම සාමකාමී ජීවන පිළිවෙතකට ගරු කිරීම , සරල චාම් පැවැත්ම ආදී සාධු ජීවිතයකට අවශ්‍ය මූලිකාංග පිළිබඳ ආකල්ප වර්ධනයක් ඇති කළ යුතු වන්නේ, ළමා වියේදීමයි. දහම් පාසල, දිනපතා පාසල, සහ සියලු ජනමාධ්‍ය ඊට නොමසුරු දායකත්වය ලබා දිය යුතුය. අනාගත යහපැවැත්ම උදෙසා හොඳ නරක , පින්පව්, කර්ම විපාක, ආදිය ගැන ප‍්‍රවෘත්ති වශයෙන් නොව ප‍්‍රායෝගික වශයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍ය ය. දරුවා කෝප ගන්වන කි‍්‍රයා බහුල වන විට ඔහු අනාගතයේදී ආක‍්‍රමණිකයකු වීමට ඇති ඉඩ කඩ වැඩි වෙයි. මූඪ ආදරයක් දක්වමින් , නානාප‍්‍රකාර කාලීන විලාසිතා සහිත ඇඳුම් පැළදුම් උපකරණ කෑම බීම ආදියෙන් පමණට වඩා දරුවන්ට සංග‍්‍රහ කරන විට ඔවුහු අනාගතයේදී පංචේන්ද්‍රිය පිනවීමේ අදහස්ම වර්ධනය කර ගනිත්. ව්‍යාපාරිකයන්ගේ මුදලින් යැපෙන විද්‍යුත් මාධ්‍ය මගින් විශේෂයෙන් රූප මාධ්‍යය මේ කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කරමින් සිටියි. සියල්ලන්ටම නොදිය යුතු දේ, පොදුවේ සියල්ලන්ටම නොදිය යුතු ය. එහෙත් ඒ පිළිවෙත අද මාධ්‍ය මගින් ඉටු වන බව නොපෙන්වයි.

‍ෙපරදිග සංස්කෘතිය තුළ, විශේෂයෙන් බුදුදහම ප‍්‍රචලිතව පවතින සංස්කෘතිය තුළ, මිනිස් ගුණ දම් සුරැකුණු ගෘහයක් පිළිබඳව අලුත් අර්ථකථන අවශ්‍ය නොවෙයි. එහි ප‍්‍රධාන තැන ගන්නේ පවුලය. ස්වාමිපුරුෂයා , භාර්යාව, සහ දූ දරුවන් අතර එහි ඇත්තේ, ශක්තිමත් ආධ්‍යාත්මික බැඳීමකි. එම ආධ්‍යාත්මික බැඳීම සමස්ත සමාජය වෙත ද අන්තර් ග‍්‍රහණය වන්නේ කෙසේද? යත්, සමාජයේ අනෙකුත් අයද මවුවරු, පියවරු, සහෝදර, සහෝදරියන් ලෙස සිතා සුරක්‍ෂිත වෙයි. මෙම බැදීම මිනිස් ප‍්‍රජාව ඉක්මවා අනෙකුත් සතුන් වෙතට ද ගස් වැල් ඇතුළු සමස්ත මිහිතලය වෙතටද ව්‍යාප්ත වෙයි. නමුත් අද ගෘහය, බුදුදහමේ ආභාෂයෙන් මිදෙමින් පවතී. ස්ති‍්‍රයකට පමණක් නොව පිරිමියකුටවත් අද මහ මග තනිව ගමන් කිරීමේ අවදානමක් ඇත. රාති‍්‍රයෙහි තබා දහවල් මහ මග තනිව ගමන් කිරීමේ අවදානමක් ඇත. රාති‍්‍රයෙහි තබා දහවල් කාලයේවත් නිවසක් වසා දමා දුර බැහැරකට යෑම, සුදුසු නොවන තත්ත්වයක් දක්නට ලැබෙයි.

බහු භාණ්ඩ පරිහරණයට හා උපරිමයට ඉන්ද්‍රියන් පිනවීමට පුහුණු කරන හා පොළඹවන සමාජයක පංච දුශ්චරිතයන්ට පහසුකම් සලසන සමාජයක, දැහැමි සන්සුන් දිවි පෙවෙතක් සඳහා හැඩගැසීමට ගිහියාට පහසුවෙන් නොහැකිය. නමුත් මේ සඳහා නිවැරැදි මග පෙන්වීමක් ලබා දීමට ධර්මාවබෝධය ලබාදීමෙන් ඔවුනට සහාය වීමට , සත්පුරුෂයනට හැකිය. එම උපදේශ නුවණින් ගන්නා සීමිත පිරිසක් හෝ සිටීම , එක් අතකින් සතුටට කරුණකි.

මෙහිදී වෙසෙසින් සැලකිය යුත්තක් පෙනෙයි. බුද්ධ කාලයෙන් මෙ පිට වු සියලු විපරිණාමයන්ට සාපේක්‍ෂව නූතන යුගයට ගලපා බැලූ විට වෙහෙර, විහාර , දාගැබ්, බෝමළු, ආවාස, ආරාම, ආදී බොහෝ දේ මෙම ශාසනයේ ඉදිරි ගමනට අවශ්‍යය. ඒවායේ පැවැත්මට දායක වූ පමණින් හෝ ඒවාට පුද පූජා පැවැත් වූ පමණින් දහමට අනුව ගිහි ජීවිතයේ දැහැමි පිළිවෙත සම්පූර්ණ කළා නොවන්නේය. බුදු දහමින් විස්තර කෙරෙන ගිහිවත, ඊට වෙනස්ය. එවැනි පුද පූජා පිළිවෙත් නොකළ යුතුය යන්න, මෙයින් අදහස් නොකැරෙයි. මත්පැන් අවන්හලක්, සත්ත්ව ගොවිපළක් සෙත් පිරිත් කියවා විවෘත කර ගැනීමට කටයුතු කරන අවස්ථා පවා, අද කලාතුරකින් වුව දකින්නට ලැබෙයි. එසේ කරන්නෝ බුදු දහම ගැන අල්ප මාත‍්‍රයක්වත් නොදත්තෝය.

පෙර භවයන්හි කරන ලද කර්ම විපාක, මේ භවයෙහි ප‍්‍රවෘත්ති විපාක ලෙස විඳින්නට සිදුවන බව, බුදු දහමේ ඉගැන්වීමය. නමුත් මනුෂ්‍යත්වයක් ලබා උපන් මේ භවයෝගී ඒ සියල්ල ප‍්‍රයෝග සම්පත්තිය මගින් පරිණාමය කළ හැකි බවද දැක්වෙයි. එබැවින් බුදුදහමේ ස්පර්ශය ලබා ඉන් දැනුවත් වී වීර්ය වඩන්නේ නම්, ගිහි ජීවිතය අර්ථවත් එකක් කර ගත හැකි ය. එය මෙලොව පරලොව දෙකටම වැඩ දායක වනු ඇත. නිරවද්‍ය ජීවිත පැවැත්මකින් උදාකර ගත හැකි සතුට හා සුන්දරත්වය , මිල මුදල් වලින් ලබා ගත නොහැක්කේම ය.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment