උපත් පාලන ක්‍රම යනු ?කා සදහා ද ? සිදුවන්නේ කුමක්ද ? කව්ද කරන්නේ ?

ඔබට වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගත්තොත් රත්තරන් වගේ ඉස්තරම් පවුලක් ආදරයෙන් පිරී ගිය ඒ දෙසිතේ ඊළඟට දැල්වෙන බලාපොරොත්තුව විවාහය. විවාහය කියන්නේ ගැහැනියක් සහ පිරිමියෙක් ජීවිතයේ මුහුණ දෙන සුන්දරම අත්දැකීමයි. මෙලොවදී සුරංගනාවක්, සුර කුමරකු වගේ හැඩ වෙන එවන් දිනයක් ජීවිතයටම යළි උදා වෙන්නේ නැති තරම්. දෙහදක් පිවිතුරු හැඟීමෙන් එක්තැන් වෙන මංගල දිනය මොන තරම් සැලසුම් සහගතද?


මාස ගණනක් පුරා විවාහ මංගල්‍යයට දෙදෙනා සූදානම් වෙනවා. මේ සුන්දර සූදානම ජීවිතය පුරාම පවතිනවා නම් . . . ඒ කැදැල්ල



අඩුවක් නැතිව සතුට, සෞභාග්‍ය, සැනසුම පිරී යන තැනක් බවට පත් වෙනවා. එහෙත් විවාහයකදී ඇති කර ගන්නා මේ සූදානම, විවාහයෙන් වසර වසර ගෙවී යද්දී යළි අක්‍රමවත් වෙනවා.

අක්‍රමවත් බව, අපිළිවෙළ නිසා යුවළකට යුග ජීවිතයේදී මුහුණ දීමට සිදුවන එක් කටුක අත්දැකීමක් අනවශ්‍ය දරු උපත්.

නීති විරෝධී ගබ්සාවන් වැඩි ගණනක් සිදු කර ගන්නේ විවාහක කාන්තාවන්. සැලසුම් නො කළ ගැබ් ගැනීමක විත්තිකරුවා ඔබමයි.

මෙසේ වන්නේ ඇයි?
විවාහ වුවත් ප්‍රජනක සෞඛ්‍ය ගැන වැඩි දෙනකුට වැටහීමක් නැහැ. ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා අවබෝධයක් නැහැ.

දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් ඇතත් ඒ ගැන සැලකිලිමත් නො වීම හෝ අවබෝධයක් නො තිබීම.

පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම. සමහරු භාවිත කරන්නේ තමන්ට ගැළපෙන ක්‍රම නො වෙයි.

සැලසුම් නො කළ ගැබ් ගැනීමක් නිසාඇති විය හැකි ප්‍රතිඵල මොනවාද?



දරුවා බිහි කිරීමට තීරණය කිරීම මෙහිදී යුවළකට ගත හැකි හොඳම තීරණයයි. එහෙත් වැඩි දෙනකු නීති විරෝධී ගබ්සාවන් කිරීමට පෙළඹෙනවා.

මෙවැනි දරුවකු ඉපදුණත්, ඒ දරුවාට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නටත් ඉඩ තියෙනවා.

සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්‍යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.

පවුලක් නිවැරැදි ලෙස සැලසුම් කරගැනීමේ ප්‍රතිලාභ මොනවාද?
අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට හැකි වීම. දරුවන් අතර පරතරයක් තබා ගත හැකි වීම. මෙයින් මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට සැලසෙන්නේ විශාල වාසියක්. දරුවාගේත්, මවගේත් පෝෂණය, සෞඛ්‍ය ඉහළ නංවන්න මෙවිට පුළුවන්.

අඩු වයසින් ගැබ් ගැනීමත්, වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වන්න පුළුවන්. එයත් මව, දරුවා යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්‍යමය වාසියක්.ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සෑදීම අවම කර ගත හැකි වීම. අලුත උපන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වීම.පවුලේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත හැකි වීම.

අවශ්‍යතාව මත ගැළපෙන පවුල් සැලසුම් ක්‍රමයක් තෝරා ගනිමු
පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්.

දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම සුදුසුයි.

දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙනවා.

ස්වභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම කිසිසේත් විශ්වාසවන්ත නැහැ.

පවුල් සැලසුම් සේවාවන් ලබා ගත හැකි ස්ථාන මොනවාද?
1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායන (එම් ඕ එච්)

2. පවුල් සෞඛ්‍ය කාර්යාංශය (ෆැමිලි හෙල්ත් බියුරෝ), 231, ද සේරම් පෙදෙස කොළඹ 10. දු. අං:2699332, 2696677

3. රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන

* ප්‍රජනක සෞඛ්‍ය සායන / පවුල් සෞඛ්‍ය සායන

* පවුලේ වෛද්‍යවරයා

* පෞද්ගලික රෝහල්

* ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය දු: අං: 2584153, 2584157



තාවකාලික පවුල් සංවිධාන ක්‍රම මොනවාද?
කොන්ඩමය - සාර්ථක තාවකාලික පවුල් සංවිධාන ක්‍රමයක්. මෙයින් සරු බවට ද බලපෑමක් සිදු වන්නේ නැහැ. නිසි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථක්වයක් බලාපොරොත්තු වීමට පුළුවන්.

මේ ක්‍රමයෙන් කායික සබඳතා මඟින් සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවක් සැලසෙනවා.

අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිත කළ හැකියි.

ඇති විය හැකි එකම අතුරු ආබාධය මෙය නිපදවා ඇති රබර්, ලේටෙක්ස් හෝ එහි ලිහිසි ද්‍රව්‍යවලට කලාතුරකින් කෙනකු අසාත්මික විය හැකි වීමයි. එවිට වෙනත් කොන්ඩම් වර්ගයක් තෝරා ගැනීමට පුළුවන්.

දැන් සතුට වැඩි කරන කොන්ඩම් තිබෙනවා.

මේවා ගබඩා කළ යුත්තේ හිරු එළියට නිරාවරණය නො වන පරිදි සිසිල් වියළි තැනකයි.

මෙය මිල දී ගැනීමට පෙර කල් ඉකුත්වන දිනය පරීක්ෂා කර බලන්න. භාවිතයෙන් පසු දරුවන්ට, සතුන්ට, අනෙක් අයට අසු නොවන ලෙස වළලා දමන්න. එසේත් නැත්නම් පුළුස්සන්න.

කාන්තාවන්ට ද දැන් මේ උපත් පාලන ක්‍රමය භාවිත කළ හැකියි. පළමු වරට භාවිත කිරීමේදී පවුල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් උපදෙස් ලබා ගන්න.

හෝර්මෝන ක්‍රම -
ගර්භණී භාවය වැළැක්වීමට යොදාගත හැකි හොඳම ක්‍රමයක්.

මේ අතරින් වඩාත් ජනප්‍රිය පවුල් සැලසුම් පෙතියි.

* උපත් පාලන පෙති ගැනීමෙන් සැලසෙන වාසි මොනවාද?
භාවිතයට පහසුයි. නැවත ඉක්මනින් සරු භාවයට පත් විය හැකියි.

හෝර්මෝන පෙති -
ඩිම්බ පිට වීම වළක්වනවා.

ගැබ්ගෙල ආශ්‍රිත ශ්ලේෂ්මලවල ඝනකම වැඩි කිරීම මඟින් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වළක්වනවා.

ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම අඩු කර, කලලය තැන්පත් වීම වළක්වනවා.පියයුරු ආශ්‍රිත රෝග, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා වළක්වනවා. හෝර්මෝන පෙති ඔසප් වීම ඇරැඹුණු පළමු දිනයේදීම ගැනීම ඇරැඹීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගත යුතුයි.

ගැබ් ගෙන නැති බව තහවුරු කර ගෙන පෙති ගැනීම ඇරැඹීමටත් පුළුවන්.

පෙති ගත් පළමු දිනයේ සිට දින 7 ක් යනතුරු සම්බන්ධයකදී කොන්ඩමයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. විවාහ වූ සැනින්ම දරුවකු පිළිසිඳ ගන්නවාට අකැමැති නම් විවාහයට මාසයකට හෝ මාස දෙකකට පෙර සිට පෙති ගන්න.

දරු ප්‍රසූතියට පසු මවුකිරි දෙන මවක් නම් දරුවාට මාස හයක් පිරුණු පසු යළි පෙති ගැනීම ඇරැඹිය හැකියි. (එන්නත් ගන්නා කාන්තාවන්ට ද එන්නත් ගැනීම මෙසේම සිදු කිරීමට පුළුවන්).

උපත් පාලන හෝර්මෝන එන්නත් භාවිත කළ කාන්තාවක හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළ කාන්තාවක නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළතදී පෙති ගැනීම අරඹන්න.

මෙහි සාර්ථක භාවය 99.99% ක්.

උපත් පාලන පෙති අවිවාහක තරුණියන්ට ද වෛද්‍යවරයා නිර්දේශ කරන අවස්ථා තිබෙනවා. ඒ ඇයි?
ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වනවා නම්, ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, ඒ කාලයේදී අධික උදර වේදනාවක් ඇති වෙනවා නම්, ඔසප් වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් උපත් පාලන පෙති ලබා දෙනවා. ඔසප් ආසන්නයේදී ඇතිවන සාමාන්‍ය ශාරීරික අපහසුතා, කුරුලෑ හට ගැනීම මේ පෙති ගැනීමේදී අඩු වෙනවා.

* දරුවකු අවශ්‍ය නම් . . .
උපත් පාලන පෙති ගැනීම නවත්වා මාස තුනකට පමණ පසු යළි සුපුරුදු පරිදි සරු කාලය උදා වෙනවා. එනම් මාස තුනකට පමණ පසු යළි ගැබ් ගත හැකියි.

* අතුරු ආබාධ තිබෙනවාද?
සිරුරට හානි නො වන තාවකාලික ගැටලු ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකියිි. ඒවා පෙති ගැනීම අරඹා මාසයකට, දෙකකට පසුව නැති වී යයි.

ඔක්කාරය, වමනය, හිසරදය, කරකැවිල්ල, පියයුරුවල වේදනාව, ඔසප්වීම් අතරතුර මඳ වශයෙන් සිදුවන රුධිර වහනය එම අතුරු ආබාධයි.

පවුල් සැලසුම් එන්නතෙන් ලැබෙන වාසි මොනවාද?
මෙය ඉතා සාර්ථක ක්‍රමයක්. ආර්තවහරණය සිදුවනතුරු වුණත් ආරක්ෂිතව භාවිත කළ හැකියි. භාවිත කළ යුතු වන්නේ මාස 3 කට වරක් පමණයි. මිලෙන් අඩු පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයක්.

පවුල් සැලසුම් එන්නතෙහි අඩංගුව ඇත්තේ ප්‍රොජෙස්ටරොන් හෝර්මෝනයයි. එන්නත් කරනු ලබන මාංස පේශියේ සිට ක්‍රමයෙන් ටිකින් ටික රුධිරයට හෝර්මෝනය නිකුත් කරනු ලබනවා.

මෙයින් ද උපත් පාලන පෙතිවලින් කෙරෙන දේම සිදු වෙනවා.



එන්නත් ගැනීම ආරම්භ කළ යුත්තේ කවදා ද?
ඔසප් වීම ඇරැඹී පළමු දින 7 ඇතුළත ඇරැඹීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් උපත් පාලන පෙති ගැනීම අරඹන පරිදිම, එන්නත් ගැනීම ද ආරම්භ කළ හැකියි.

පුංචි දෝණි චිත්‍රයක් ඇන්දා. අම්මයි, තාත්තයි, මල්ලියි, දෝණියි, සතුට උතුරා යන පවුලක්. අඩුවක් නැතිව හැමදේම ලැබෙන පුංචි සිතක නිර්මාණය වෙන්නේත් සුන්දර වර්ණයන්ගෙන් අලංකාර වුණු සිතුවමක්.

තමන්ට අවශ්‍යතා සපුරාලීමට හැකි පමණින් දරුවන් සංඛ්‍යාවක් ඇති විට මවකට, පියකුට සතුට උතුරා යන කැදැල්ලක් නිර්මාණය කළ හැකියි. ඒ පවුල් සංවිධාන ක්‍රමවල උපකාරයෙනි.

අපි පසුගිය සතියේ උපත් පාලන පෙති ගැනත්, එන්නත් ගැනත් තොරතුරු රැසක් ගෙන ආවෙමු. මෙවර එන්නත් ගැන තවදුරටත් ඔබ දැනුවත් කරන අතර, තවත් උපත් පාලන ක්‍රම රාශියක් ගැන තොරතුරු ඔබට ගෙන එන්නෙමු.

වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කර එන්නත් භාවිතයට යොමු වෙනවා නම් . . .

උපත් පාලන පෙති ගත්තා නම් ඕනෑම අවස්ථාවක එන්නත් ලබා ගැනීමට පුළුවන්. පෙති පැකැට්ටුව ගෙන අවසන් වූ පසු ලබා ගැනීම වඩාත් සුදුසුයි.

සම යට තැන්පත් කරන හෝර්මෝන කරල් භාවිත කළේ නම්, ඒත් ඕනෑම අවස්ථාවක එන්නත් ගතහැකියි.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළේ නම් ඔසප් වීම ඇරැඹී පළමු දින 5 තුළ ලබාගත යුතුයි.

එන්නත ලබාගත යුත්තේ . . .
මාස තුනකට (දින 90 කට) වරක්. එන්නත ලබාගත් පසු එම තැන සම්භාහනය කිරීමෙන් වළකින්න. මෙහි සාර්ථක භාවය 99.97% ක්.

නියමිත දිනට එන්නත ලබා ගැනීමට නො හැකි වූවා නම් . . .

නියමිත දිනය පසු වී සති 4 ක් ගතවන තුරු එන්නත ලබා ගැනීමට පුළුවන්. එහෙත් උපත් පාලන ක්‍රියාවලිය අසාර්ථක වීම වැළැක්වීම සඳහා සෑම දින 90 කට වරක්ම එන්නත ලබා දෙන්න.

සති හතරකට වඩා පමා වුණොත් ඉදිරි දින හත තුළ කොන්ඩමයක් භාවිත කරන්න. එසේ නැත්නම් අනාරක්ෂිත, හදිසි සබඳතාවකදී ගත යුතු පෙති ගන්න.

* නැවත සරු භාවය ලබා ගත හැකි කාලය . . .
එන්නත නතර කර නැවත ගැබ් ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සාමාන්‍යයෙන් එන්නත නතර කර මාස 7 – 12 ක් වැනි කාලයකදී යළි ගැබ් ගත හැකියි.

අතුරු ආබාධ මොනවාද?

ඔසප් චක්‍රය අක්‍රමවත්වීම (ඔසප් නතර වීම, බින්දු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය හෝ කලාතුරකින් රුධිර වහනය වැඩි වීම වැනි), ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල, මඳ වශයෙන් ඇතිවන පියයුරු වේදනාව හෝ විශාල වීම.

එන්නත වඩා සුදුසු වන්නේ කාට ද?
* කිරි දෙන මවුවරුන්.

* දරුවන් අවශ්‍ය ගණන සිටින හෝ දරුවන් ගණන සීමා කිරීමට අවශ්‍ය මවුවරුන්ට.

* දරුවන් අතර නිසි පරතරයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන මවුවරුන්ට.

* ඊස්ට්‍රජන් හෝර්මෝන භාවිතය නුසුදුසු කාන්තාවන්ට.

* එන්නත් භාවිතයෙන් බලපෑමක් සිදු විය හැකි රෝගී තත්ත්වයන් නොමැති වයස අවුරුදු 50 ට අඩු ඕනෑම කාන්තාවන්ට.

සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්

මේ දීර්ඝ ක්‍රියාකාරිත්වයක් සහිත ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයකි.

හෝර්මෝන කරල් ඩිම්බ පිටවීම වළක්වයි. ගැබ්ගෙල ආශ්‍රිත ශ්ලේෂ්මලවල ඝනකම වැඩි කරයි. එමඟින් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වැළකේ. ගර්භාෂය ඇතුළත බිත්තියේ ඝනකම අඩු කිරීමෙන් කලලය තැන්පත් වීම වළකී.

විධ වෙළෙඳ නාමවලින් කරල් වර්ග ඇති අතර ඒවායේ ක්‍රියාකාරී කාලය වර්ගය අනුව වෙනස්වේ.

මේ උපත් පාලන ක්‍රමය ආරම්භ කළ හැකි වන්නේ කවදා ද?ඔසප් වීම ආරම්භ වී ඇත්නම් පළමු දින හත ඇතුළත් ද?

කිරි දීම අරඹා සති 6 කට පසුව ද, මුල් මාස තුනට පසු ගබ්සා වී ඇත්නම් පළමු සතිය ඇතුළත ද, මුල් මාස තුනෙන් පසුව ගබ්සා වී ඇත්නම් ගබ්සා වී සති හතරකට පසුව ද හෝර්මෝන කරල් තැන්පත් කළ හැකියි.


උපත් පාලන පෙති භාවිත කළා නම් ඕනෑම අවස්ථාවක ද, පවුල් සැලසුම් එන්නත් භාවිත කළේ නම් අවසාන එන්නත් කිරීමේ දින සිට දින 90 ක් ඇතුළත ද, ලූපයක් භාවිත කළේ නම්, ඔසප් වීම ඇරැඹී පළමු දින 5 ඇතුළත ද හෝර්මෝන කරල් තැන්පත් කිරීමට පුළුවන.

හෝර්මෝන කරල් 99.9% ක් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයකි. ඔසප් වීම ඇති වී පළමු දින පහ ඇතුළත තැන්පත් කිරීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි.

හෝර්මෝන කරල් තැන්පත් කිරීමේදී . . .
පුහුණුවලත් පුද්ගලයකුට කියා විසබීජහරණය කළ තත්ත්ව යටතේ කරල් තැන්පත් කළ යුතුයි.

වේදනාව අවම කිරීමට තැන්පත් කළ ස්ථානයට නිර්වින්දන ඖෂධ ලබා දෙන නිසා වේදනාවක් නො දැනෙයි. කරල් තැන්පත් කරන්නේ උඩු බාහුවේ ඇතුළත පැත්තේ වැලමිට හන්දියට අඟල් 5 ක් පමණ ඉහළින්ය.

තැන්පතුවේ නියමිත කාල සීමාව ඉක්මවා යන විට දෙවැනි හෝර්මෝන කරල එම බාහුවේම හෝ අනෙක් බාහුවේ තැන්පත් කළ හැකියි.

හෝර්මෝන භාවිතය නු සුදුසු රෝගී තත්ත්ව නොමැති නම් වයස අවුරුදු 50 දක්වා මේ ක්‍රමය භාවිත කළ හැකියි.

තැන්පතුව ඉවත් කළ වහාම නැවත සාමාන්‍ය සරු බව බලාපොරොත්තු වීමට පුළුවන. මෙහි ඇති ප්‍රධානම වාසිය දිගුකාලීන ක්‍රියාකාරිත්වයක් තිබීමයි. වයසින් වැඩි කාන්තාවකට වුවත් මේ ක්‍රමය සුදුසුයි.

අතුරු ආබාධ ද නැත්තේ නොවේ. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ආහාර රුචිය වැඩි වී සිරුරේ බර වැඩි වීම, හිසරදය, කරකැවිල්ල ඉන් කිහිපයකි.

හෘද කපාට ආශ්‍රිත රෝග තත්ත්ව ඇති අයට පවා මේ ක්‍රමය සුදුසුයි.

ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපය
මෙය ප්ලාස්ටික්වලින් නිම කරන ලද කුඩා (සෙ. මී. 3.2ඔ3.6 ක් පමණ) ‘ටී’ අකුරේ හැඩය ඇති නැමෙනසුලු උපකරණයකි. තඹ දඟරයක් මෙය වටා ඔතා ඇති අතර මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ්ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳී සිටින පරිදි සකසා ඇත.

ලූපය ඔසප් වී පළමු දින 12 ක් ඇතුළත තැන්පත් කළ හැකිය. දරු ප්‍රසූතියට පසු හෝ ගබ්සාවකින් පසු ලූපයක් භාවිත කරනවා නම් ප්‍රසූතියෙන් සති හතරකට පසු තැන්පත් කරන්න. වෙනත් පවුල් සැලසුම් පෙති භාවිතකළ කෙනකුට වුණත් පසුව ලූපය පවුල් සංවිධාන ක්‍රමය වශයෙන් තෝරා ගත හැකියි. පුරා වසර 10 ක් ගැබ් නො ගෙන සිටීමට මේ ක්‍රමය ආධාර වෙයි.

ලූපය ඉවත් කළ වහාම දරුවකු පිළිසිඳ ගත හැකි තත්ත්වයට පත් වෙයි. මේ ක්‍රමය කිරිදෙන මවුවරුන්ට ද කදිමයි. සිරුරේ හෝර්මෝනවලට බල නොපායි.

ලූපය තැන්පත් කළ මුල් පැය 24 – 48 කාලය ඇතුළත උදරය මිරිකනවාක් වැනි වේදනාවක් ඇති වෙයි. මුල් සති 3 – 4 දී යෝනි මඟින් සුළු වශයෙන් රුධිරය පිට විය හැකියි.

සමහරුන්ට ඔසප් වීමේදී සාමාන්‍යයෙන් රුධිරය පිට වෙනවාට වැඩි රුධිර ප්‍රමාණයක් පිටවේ. මිරේනා ගර්භාෂයෙහි තැන්පත් කරන තවත් උපකරණයකි. මෙය ක්‍රමයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිකුත් කරන ප්ලාස්ටික්වලින් සාදන ලද කුඩා ‘ටී’ හැඩැති නැමෙන සුලු උපකරණයකි. පුහුණුව ලත් සෞඛ්‍ය සේවකයකු විසින් විසබීජහරණය කළ තත්ත්ව යටතේ තැන්පත් කිරීම හා ඉවත් කිරීම කළ යුතුයි. පස් වසරක් ගැබ් නො ගෙන සිටිය හැකියි. ආර්තවයේදී අධිකව රුධිරය පිටවන කාන්තාවන්ට රුධිර වහනය අඩු කිරීමට ද මේ ක්‍රමය යොදා ගනියි. එයින් රක්තහීනතාවේ අවදානම අඩුවේ.

ස්ථිර උපත් පාලන ක්‍රම
තවදුරටත් දරුවන් අනවශ්‍ය යුවළකට වන්ධ්‍යකරණයට යොමු විය හැකියි. වන්ධ්‍යකරණ සැත්කමට වැය වෙන්නේ මිනිත්තු 10 – 15 ක් වැනි කෙටි කාලයකි.

කාන්තාවන්ට කරන වඳ සැත්කම් එල් ආර් ටී යනුවෙන් හඳුන්වයි.

දරුවා බිහි කර පළමු පැය 48 දී සැත්කම් කිරීම වඩා සුදුසුයි. එනමුත් දරු උපතින් සතියකදී හෝ සති අටකට පසුව ද සැත්කම කළ හැකිය.

සාමාන්‍ය කාන්තාවකට ඔසප් වී පළමු දින හතක් තුළ ද සැත්කම කිරීමට පුළුවන.

පෙති, ලූප, හෝර්මෝන කරල් මේ ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිත කළ කාන්තාවකට ඕනෑම අවස්ථාවක සැත්කමට යොමුවීමට හැකියාව ඇත. පවුල් සැලසුම් එන්නත් භාවිත කළා නම් අවසන් එන්නතේ සිට දින 90 කදී සැත්කම කිරීමේ හැකියාව තිබේ.

දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නවා නම් සැත්කමට පෙර සාමාන්‍ය පරිදි ඒ ඖෂධ ගන්න. සැත්කමට නිරාහාරව සිටීම අවශ්‍ය නො වෙයි. සැත්කමට පෙර නා හොඳින් පිරිසුදුව සිටීම වැදගත්ය.

සැත්කම පළපුරුදු වෛද්‍යවරයකුට කියා කර ගැනීම අත්‍යවශ්‍යයි.

පිරිමියකු වඳ සැත්කම කර මාස තුනක් යන තුරු උපත් පාලන ක්‍රමයක් භාවිත කළ යුතුයි. වන්ධ්‍යකරණය (වඳ සැත්කම) සාර්ථකව සිදු වී ඇත්දැයි බැලීමට මාස තුනකට පසු ශුක්‍ර තරලය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

වෙනත් රෝගයකට (දියවැඩියාව, අධික රුධිර පීඩනය) ප්‍රතිකාර ගන්නවා නම් සැත්කමට පැමිණීමට පෙර ඖෂධ ගත යුතුයි. නිරාහාරව සිටීම අනවශ්‍යයි. නා පිරිසුදු වී, පවිත්‍ර යට ඇඳුම් ඇඳ පැමිණීම වැදගත්ය. සැත්කම සඳහා පා පැදියකින් නොයා යුතුයි.

අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම
නො සිතූ මොහොතක ඇතිවන සම්බන්ධතාවක් සිතට ගෙන දෙන්නේ බියක්. එවැනි අනාරක්ෂිත සබඳතාවකදී ගත යුතුම පෙති වර්ගය පොස්ටිනෝ පෙතියි. කායික සම්බන්ධයෙන් පැය 72 ක් තුළදී මෙය භාවිත කළ යුතුයි.

පළමු පෙති මාත්‍රාව ගෙන පැය දොළහකට පසු දෙවැනි පෙති මාත්‍රාව ගත යුතුයි. ඖෂධ මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමට ද පුළුවන්.

මේ පෙති හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට පමණක් භාවිත කරන්නකි.

උපත් පාලන ක්‍රමයක් වශයෙන් භාවිත කරන්නක් නො වෙයි.




උපදෙස් - පවුල් සංවිධාන සංගමයෙන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment